වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
Doctor Door
සැමියා නිතර කේන්තියෙන්
ප්රශ්නය
33 හැවිරිදි මා ගැබිනි මවක්. සැමියා වැඩි කතාබහක් ඇති අයකු නොවේ. කතා කළත් පිළිතුරු ලබා දෙන්නේ නොරිස්සුමෙන්. ඔහුගේ ඒ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු මා වදයක් ලෙස සලකන බවයි. මේ ගැටලුව නිසා පවුලේ ගත යුතු ඇතැම් තීරණ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට අපහසුයි. මා ගැබිනියක් නිසා ඔහුගේ මේ හැසිරීමෙන් කලකිරීමකට වගේම ඉපදීමට සිටින දරුවා ගැන දුකක් ඇති වෙයි. අපගේ අනාගතය ගැන කතා කරන විටදීත් පිලිතුරු දෙන්නේ නොරිස්සිමකිනි. මේ කතා බහ අවසන් වන්නේ රන්ඩුවකිනි. එසේ වූ පසු මාස ගණන් ඔහු මා සමඟ කතා නොකර සිටියි. මෙයට මා කළ යුත්තේ කුමක් ද?
පිළිතුර
බොහෝ බහින්බස් වීම් දුර දිග යන්නේ අකාරුණික බව නිසයි. දෙදෙනකු අතර ඇති වන වාදයක් සාර්ථකව නිම කළ හැක්කේ දෙදෙනාම තර්කානුකූලව කරුණු දිග හැර දැක්වූ විටයි. තමාට අදාළ කරුණු පිළිබඳව පැවසීමෙන් බොහෝ බහින්බස් වීම් ඉක්මණින්ම කෙලවර කර ගත හැකියි. නමුත් බොහෝ වාදයෙන් දිනන්නට උත්සාහ කරන්නේ අනෙකාව අපහාසයට ලක් කරමින් හෝ තර්ජනාත්මකව බිය ගැන්වීමෙනුයි. ඉතින් බහින්බස් විම් අසුන්දර ලෙස දුර දිග යාම අහන්නත් දෙයක්ද.
සිතේ ඇති දේ කෙළින් නොපවසා වෙනත් මාතෘකා ඔස්සේ තරහව පිටකිරීම බොහෝ ගැටුම්වලට හේතුවයි. සැම විටම ඔබ මෘදු වචන කතා කරන්න. ඔහුගේ කෝපයට හේතුව ආදරයෙන් විමසන්න.
හදිසියේ හෝ ඔබ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවුවහොත් මඳ වෙලාවක් ගත වන විට නැවත හරි සිහියට පැමිණෙන්න. සැමියා වැඩි කතා බහක් නැති අයකු නම්, ඔහු වඩා ප්‍රිය කරන මාතෘකාවක් ගැන ඔහුත් සමඟ කතා කරන්න. එවිට ඔහු වඩා උනන්දුවෙන් ඒ පිළිබඳව ඔබත් සමඟ කතා කරාවි. එවැනි පුංචි පුංචි දේවල්වලින් සැමියාගේ අවධානය, ආදරය දිනා ගන්න පුළුවන් බව ඔබට වැටහේවි. ඒ වගේම ඔබ ගැබිනි මවක් නිසා මේ මොහොතේ දරුවා ගැන සිතන්න. ඔබගේ සිතුවිලි ඔබ කුස තුළ සිටින දරුවාට බලපාන්න ඉඩ නොදෙන්න.
-----------------------------
ජීවිතේම එපා වෙලා
ප්රශ්නය
මම 28 හැවිරිදි විවාහක කාන්තාවක්. විවාහ වී වසර 3කි. තවම දරුවන් නොමැත. සැමියා දුර පලාතක ආරක්ෂක අංශයේ රැකියාවක් කරයි. මා සිටින්නේ ඔහුගේ මවගේ නිවසෙයි. ඔහු නිවෙසට එන්නේ සතියකට සැරයක්. ඔහුගේ මවගේ කෙනෙහෙලිකම් මා ඉවසමි. ඈ නිතර මට වඳ ගැහැණියක් කියයි. මේ සියලු දේ ඉවසන්නේ ඔහු නිසයි. නමුත් මෙය මට තවත් ඉවසිය නොහැකිය.
මට නිතරම තනිකමක්, දුකක්, කලකිරීමක් දැනෙයි. හිස හැරුණු අතක යන්න සිතෙයි. මාගේ මේ තත්ත්වය දිනෙන් දින අයහපත්වන බවක් දැනී යනවා. මට මා ගැනම බියයි.
පිළිතුර
ඔබ පවසන රෝග ලක්ෂණවලට අනූව ඔබට ඇත්තේ විෂාදය නමැති මානසික රෝගය යන්න නිගමනය කල හැකිය. විශාදය කියන්නේ මනසේ ඇතිවන දීර්ඝ කාලීන වශයෙන් පවතින් ශෝකී ස්වාභාවයක් කියලා සරලව සඳහන් කරන්න පුලුවන්. පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මද විශාදය (Mild depression) , සමාන්‍යය විශාදය (Moderate Depression), සහ දරුණු ගනයේ විශාදය (Severe Depression) ලෙස වර්ග කල හැකියි. මෙම තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. නිතර සිතේ ඇතිවන දුක්සහිත ස්වාභාවය,
වෙනදා සතුටුවන දේ වලින් සතුටට පත්විය නොහැකි බව, මහන්සිගතිය, මානසික ඒකාග්‍රතාවය අඩුවීම, ආත්ම විශ්වාශය අඩුවීම, සිතේ පවතින වරදකාරී ස්වාභාවය, අනාගතය පිලිබඳ අශුභවාදි අදහස්, සියදිවිහානිකර ගැනිමට සිතීම, නින්ද නොයැම සහ කැම අරුචිය ඉන් කිහිපයකි.
විශාදය ඇති වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්.
ජානමය හේතු, දීර්ඝ කාලීන රෝගී තත්ත්ව, සමහර ඖෂධ, හදීසි මානසික ගැටලු ආදී විවිධ හේතු බලපෑ හැකිය. ඒ අතර ඔබට තවමත් දරුවන් නොමැති වීම සහ සැමියා නිවෙසින් ඈත්ව සිටීම වැනි හේතුද බලපෑ හැකිය.
ඔබට ඇති විෂාද වර්ගයේ ස්වභාවය අනූව ප්‍රතිකාර වෙනස් වේ. කෙනෙක්ට මෙය ප්‍රතිකාර රහිතව සුවකර ගැනීමේ හැකියාව ඇතත් තව කෙනෙක්ට ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. හැබැයි මේ විෂාදය කියන මානසික රෝග තත්ත්වය කිසිසේත්ම නොසළකා හැරිය යුත්තක් නෙමෙයි. ඒ නිසා මනෝ වෛද්‍ය වරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න. විශ්වාසවන්ත කෙනෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න. ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න. ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න. නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න. එදිනෙදා කාර්යයන් වල හැකිතාක් යෙදෙන්න.පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. මානසික සුවය සඳහා භාවනා කරන්න. ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම් වල නිරත වන්න.
උපදෙස්
විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්
කරාපිටිය ශික්ෂණ රෝහල