පැළවුණු අර්තාපල් ගෙදරට ගේන්න එපා!

ජනවාරි 27, 2025

ඔබ වෙළඳපලකට හෝ පොළකට ගිය විට රැගෙන එන පැළ වූ හෝ කොළ පැහැති අර්තාපල් ඔබට /ඔබගේ දරුවන්ට මාරාන්තික වන බව දන්නවාද?


අර්තාපල් අල නෙළාගෙන කාලයක් යාමේදී සහ ආලෝකයට නිරාවරණය වූ විට හරිතප්‍රද ඇති වී ප්‍රරෝහණය ආරම්භ වේ. මේ නිසා අර්තාපල් කොළ පැහැය වේ. තවත් කාලයක් ගිය විට අර්තාපල්වල අංකුර පෑදේ. මෙම කොළ පැහැ ස්ථානවල සොලනීන් නැමැති විෂ සහිත රසායනිකය නිපද වේ.

මෙය ස්වාභාවික ආරක්ෂණ යන්ත්‍රයක් වන අතර ප්‍රරෝහණය වන අර්තාපල් කෘමි හා බැක්ටීරියා හානි වීම වළකයි. තවද ශාක භක්ෂකයින් කා දැමීමද වළකයි.

මේ අනුව සර්ව භක්ෂකයින් වන අපට ද මෙම අර්තාපල් ආහාරයට ගැනීම මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකිය.

විශේෂයෙන් මෙම සොලනීන් පිසීමේදි ඉවත් නොවේ. පොත්ත ඉවත් කිරීමෙන් 30% ක් පමණ ඉවත් වී යයි.

මෙම අල අනුභවයෙන් පැය 8- 12ත් අතර රෝග ලක්ෂණ පහළ වේ. මෙම රෝග ලක්ෂණ ඇති වීමට 2 – 5 mg/kg ශරීරබර අනුව ශරීරගත විය යුතුය. මෙය සොලනීන් විෂ වීම ලෙස හඳුන්වයි.

රෝග ලක්ෂණ වශයෙන්,

* හිසරදය
* පෙනීමේ ආබාධ
* හුස්ම ගැනීමේ අපහසුතා
* සංවේදිතාව නැති වීම.
* උණ
* වමනය
* පාචනය

ඇතිවිය හැකිය. නිසි ප්‍රතිකාරය නොලැබුණහොත් මරණය පවා සිදුවිය හැකිය. විකෘති සහිත දරු උපත් ඇතිවිමටද හේතු විය හැකිය.

එම නිසා ඔබත් වෙළඳපලෙන් කොළ පැහැ හෝ පැළ වුණු අර්තාපල් රැගෙන ඒමෙන් වළකින්න. අර්තාපල් හොඳින් නිරීක්ෂණය කොට නි‍ෙවසට රැගෙන යන්න. එය ඔබගේත් ඔබගේ දරුවාගෙත් නීරෝගිමත්භාවය හේතුවනවා ඇත.