දාහය නිවා දමන්න සිරුරම නීරෝගිවන්න

ජනවාරි 27, 2025

මුහුණ ලස්සනට තියාගන්න අපි උනන්දු වෙනවා වගේම දෙපා ලස්සනට තියාගන්නත් උනන්දුවක් දක්වන්න අවශ්‍යයි. දෙපා පැළීම, හිතට කරදරකාරී හැඟීමක්, සිරුරේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දෙපා පැළීම පමණක් නොව, මුව, තොල පිපිරීම වගේ දේවල් සිදුවීමත් දක්නට ලැබේ. මේ දිගහැරුම ඔබේ සුවසෙත වෙනුවෙනි.

 

මවුපිය ජාන හේතුකොටගෙන පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ උණුසුම විවිධාකාර වේ. එකී විවිධත්වය මත කාලගුණික සහ දේශගුණික බලපෑම් හේතු කොට එහි තීව්‍රතාවය ද වෙනස් වේ.

 

වා - පිත් - සෙම් අතුරින් පිත් දෝෂය ප්‍රබල වීමත්, ගන්නා ආහාරයේ ස්වභාවයත් අනුව ශාරීරික ඌෂ්ණය වෙනස් වේ. ලුණු ඇඹුල් මෙන්ම උෂ්ණාධික ආහාරපාන වැඩිපුර ගැනීම මෙයට ඍජුවම බලපාන හේතුවකි. ආහාරපානවල උෂ්ණත්වික බවත් පරිසරයේ පවතින උෂ්ණාධික බවත් හේතු කොටගෙන මනුෂ්‍ය ශරීරයට විවිධාකාර ලෙඩ රෝග ඇති වේ. එසේම උණුසුම් ආහාර පාන මෙන්ම මද්‍යසාර ගැනීමද මෙකී තත්ත්වයට හේතු වේ.

 

ගර්භිණී අවධියේදී ඇතිවන්නා වූ රුචි අරුචි බව මත ගන්නා ආහාර පාන ගැබ තුළ වෙසෙන දරුවාට ඍජුවම බලපානු ඇත. විශේෂයෙන් අන්නාසි, අඹ, අච්චාරු, ලුණු අැඹුල් අධික ආහාර පාන ගැනීම නිසා සමේ විවර්ණ බව, කුෂ්ඨ රෝග, අධික ලෙස දහදිය ගැලීම, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු සමාජයේ දක්නට ලැබේ.

 

විශේෂයෙන් වර්තමානයේ බහුලව පවතින අම්ල පිත්ත රෝගයට (Gastric) හේතු වනුයේ උෂ්ණාධික ආහාරයි.

 

එනම්, ලුණු අධික අබ, අච්චාරු, අන්නාසි, අඹ ආදී සැර ආහාර පානයි. ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, තක්කාලි, හරක් මස්, දෙල් ආදී උෂ්ණාධික ආහාර නිතර නිතර ආහාරයට එක් කර ගැනීමයි. එපමණක් නොව සෝස් වර්ග, චට්නි වර්ග, සැරබීම වර්ග මෙකී රෝගී තත්ත්වය වැඩි දියුණු කරයි. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පානද මෙයට හේතු වනු ඇත. එසේම ශරීර දාහය නිවා ගැනීම උදෙසා විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර නිතර භාවිත කිරීම තුළින් ශරීරයෙන් පිටවෙන උෂ්ණය නැවත ශරීරය තුළටම ඇද ගනී.

 

ශරීර උෂ්ණය දහදිය මඟින් පිටවිය යුතුමය. එසේ නොවන කල්හි ශාරීරික දාහය මෙන්ම ශාරීරික දැවිල්ල සම ආශ්‍රිත හටගන්නා විවිධ කුෂ්ඨ රෝග ඇති වේ. එසේම මළ බද්ධය බඩ පිපුම මෙන්ම අර්ශස්, භගන්දරා වැනි පීඩාකාරී රෝගවලටද ගොදුරු වේ.

 

තවද අතුල් පතුල් මතින් දහඩිය ගැලීම, එදිනෙදා වැඩ කටයුතුවලට බාධා ගෙන දේ. සමහර අවස්ථාවන්වලදී දෑත් දෙපා පුපුරා ස්‍රාව ගැලීමද, රුධිරය පිටවීම ද සිදුවේ. එසේම මුඛයේ සැරව බිබිලි මතුවීම, දත් මුල් දියවීම, තොල කට වේළීම, කට ගඳ ගැසීම, හිසරදය ආදී රෝගයන් ඌෂ්ණ විදානී ආහාරපාන ගැනීම නිසා ඇතිවන්නා වූ ඉවසුම් නොදෙන රෝග අවස්ථාවන් ඇති වේ.

 

මීට අමතරව හිසකෙස් පැළීම, අකලට හිසකෙස් ගැලවී යාම, අධික මස්පිඬු වේදනාව, අස්ථි සන්ධි වේදනාව, සන්ධි ගල් ගැසීම ද මෙම උෂ්ණාධික ආහාරපාන නිතර නිතර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. තවද ඇස්, කන් ආදියෙන් දුම් පිට වෙන්නාක් මෙන් දැනීම ද ඇතිවේ. යටි පතුල් පුපුරු ගැසීම, වැලි පෑගෙන කල්හි අධික වේදනාව, ඇඟපත වේදනාව, නොරිස්සුම් ස්වභාවයද මෙම උෂ්ණ විදානී ආහාර ගැනීම නිසා ඇතිවන්නා වූ කරදරකාරී වේදනාකාරී අවස්ථාවන් වේ.

 

එසේම නිතර නිතර දහඩිය දැමීම හෝ නොදැමීම නිසා ශරීරයේ පැහැයෙහි වෙනස්කම් ඉරි තැළීම්, රළු වීම්, කැසීම් සහ විවිධාකාරයේ කුෂ්ඨ රෝග හට ගනී.

 

මුලින් කී පරිදි සමහරකුගේ ශරීරය ස්වභාවයෙන්ම උෂ්ණාධිකය. එබැවින් ශරීරයේ පවතින්නාවූ අධික උෂ්ණය පාලනය කර ගැනීම උදෙසා නිතර නිතර පිරිසුදු ඇල් ජලය පානය කිරීම සහ දෝවනය කිරීම, දහදිය උරා ගැනීමට පහසු ඇඳුම් පැලඳුම් භාවිත කිරීම, ස්වාභාවික සිසිල් සුළං සේවනය කිරීම, දාහය නිවන සව්, බාර්ලි, කොළ කැඳ, කිතුල්පිටි, හුළංකිරියා වැනි ද්‍රව්‍ය වලින් සැකසූ කැඳ වර්ග, මුං ඇට, සාරණ, ගොටුකොළ, නිවිති, කංකුං, බැරකොකු, වැල්පෙනෙල ආදී සිසිල් ගුණ ඇති ආහාර වර්ග ගැනීම ඉතාමත් ගුණදායක වේ.

 

මෙවන් උෂ්ණාධික රෝගීන් උදෙසා අායුර්වේද නියමයන් වන්නේ පිරිසුදු ගිතෙල් පානයයි. දාහය නිවීම සඳහා උතුම්ම පානය වන්නේ ගිතෙල් බව කිව යුතුය. මීට අමතරව එළකිරි පානය ද නිර්දේශ වේ. වැව් මාළුත් ඉතා ගුණවත්ය.

 

එපමණක් නොව ගංගා ආශ්‍රිත, වැව් පොකුණු ආශ්‍රිත, කුඹුරු ආශ්‍රිත සිසිල් පරිසරයේ ජීවත්වීම නෙළුම් මානෙල් - ඕලු ආදීන් සැකසූ මල් මාලා පැලඳීම, මුතු පැලඳීම, කුඩා ළමුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම හා ඇසුරු කිරීම, තම නි‍ෙවස පරිසරයේ උද්‍යාන සැකසීම, වැව් පොකුණු ඉදිකිරීම හා ජලජ ශාක සිටුවීම, මල් වැවීම කුඹුක්, කොහොඹ, මී, උණ වැනි ශාක සිටුවීම හා ඒ ආශ්‍රිත සුළං සේවනය කිරීම සුදුසුයි.

 

දේශයට, කාලයට හා තම ශාරීරික තත්ත්වය අනුව සුදුසු ආහාර සහ ඇවතුම් පැවතුම්වලට අනුගත වීමටත්, රෝගී තත්ත්වය අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමක් කළ යුතුය.

 

උපදෙස්

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

කාන්ති මදුරප්පෙරුම

 

[email protected]