ගෙදර සුරතලෙක් ඉන්නවානම් මේ ගැනත් හිතන්න

ජනවාරි 27, 2025

සුරතල් සතුන් ඇති කිරීම සහ එවැනි සතුන්ට ආදරය කිරීම මෙන්ම එම සතෙකුගෙන් ලැබෙන ආදරය සුන්දර අත්දැකීමකි. එනිසා අප බොහෝ දෙනා මෙය අත්විඳින්නට කැමැතිය. මෙය සුන්දර අත්දැකීමක් පමණක් නොව ශාරීරික හා මානසික සුවයට හිතකර බවද වර්තමානයේ පිළිගත් වෛද්‍ය මතයකි. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී මෙම සතුන් මඟින් අපට රෝග බෝවීමේ අවදානමක්ද තිබෙන බව දැනගැනීම වැදගත්ය.

සාමාන්‍යයෙන් නි‍ෙවසේ සිටින සුරතල් බල්ලන්, පූසන් වැනි සතුන්ට වැලඳෙන රෝග මිනිසුන්ට බෝනොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා වයිරස හා පරපෝෂිතයන් සඳහා ඔවුන් රෝග වාහකයින් ලෙස ක්‍රියාකළ හැකිය. බොහෝ විට මෙම විෂබීජ තිබෙන්නේ සුරතල් සතුන්ගේ කෙළ, මලපහ, ලෝම ආශ්‍රිතවය.

බල්ලන් හා පූසන් මඟින් බෝවිය හැකි සුලබ රෝග කිහිපයකි. ජලභීතිකාව ඉන් ප්‍රධානයි. සපා කෑමකින්, සීරීමකින් හෝ අපගේ සිරුරේ තුවාල වූ සමක් මත ස්පර්ශවීමෙන්ද රෝගී සතාගේ කෙළවල ඇති මෙම රෝග කාරක වයිරසය අප ශරීර ගත විය හැකිය. දෙවනුව දිලීර රෝග ගැන අවධානය යොමු කළ යුතු ය. සුරතල් සතාගේ සමෙහි තිබෙන දිලීර රෝග ඇතැම් විට අපගේ සමෙහි ආසාදන ඇති කළ හැකිය. කසනසුලු රතු ලප ආකාරයෙන් මෙම ආසාදන අපේ සමෙහි මතුවේ. ආසාදනය ඇත්තේ හිසෙහි නම් කෙස් ගැලවී යාමක් සිදුවිය හැකිය. මෙම රෝගය බොහෝ විට කුඩා දරුවන්ට බලපායි. සුරතලාගේ ආසාදිත සම ස්පර්ශ කිරීමෙන් දරුවන්ට බෝවිය හැකිය. එසේම නි‍ෙවසේ මෙම රෝගී සතා නිතර ගැවසෙන ස්ථානවල සහ සතාගේ ලෝමවලත් රැඳී තිබිය හැකිය.

 

 

විදුමිණි දිසාකරුණා

 

[email protected]