ඔබේ ගැටලුව අපට එවන්න

පෙබරවාරි 10, 2025

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

පලතුරු කෑවම සීනි නඟිනවද?

 

අපි සෑම විටම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමට උත්සාහ දරනවා. නමුත් කාර්ය කාර්යබහුලත්වය, නොසැලකිල්ල, මිල වැඩි වීම වැනි හේතු මත පලතුරු වර්ග ඔබේ දෛනික ආහාරයට එකතු කර ගැනීම මඟහැරෙන අවස්ථාවන් ඇති.

 

දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වැලඳී ඇති ඇතැම් පුද්ගලයන් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිනවා. පලතුරුවල සීනි අඩංගු වුවත් එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව සීනි අඩු පලතුරු සහ සීනි වැඩි පලතුරු ලෙස වර්ග කළ හැකියි. නමුත් එය බොහෝ විට ඔබට බලපාන්නේ ආහාරයට ගන්නා ප්‍රමාණය මතයි.

 

ඇතැම් පලතුරුවල සීනි බහුලව පවතිනවා. එවායේ ෆෘක්ටෝස් (Fructose) අඩංගුයි. ෆෘක්ටෝස් නිසා ආහාර ගැනීමේ රුචිය තවත් වර්ධනය වෙනවා. එම නිසා පලතුරුවල අඩංගු ෆෘක්ටෝස් හේතුවෙන් ශරීරය තරබාරු වන බවට මතයක් පවතිනවා. නමුත් පලතුරුවලින් ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා. පලතුරුවල තන්තු, ඛනිජ ලවණ සහ විටමින් වර්ග අඩංගුයි. එහි පිළිකා සහ හෘද රෝග වළක්වාගත හැකි ප්‍රතිඔක්සිකාරක අඩංගු සංයෝග පවතිනවා.

 

පලතුරුවල සීනි බහුලව අඩංගු වුවත් එහි ඇති සීනි ප්‍රමාණය අනුව සීනි අඩු පලතුරු සහ සීනි වැඩි පලතුරු ලෙස කොටස් දෙකකට වෙන්කළ හැකියි. ඉදුණු කෙසෙල්, ඉදුණු අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම් ආදියෙහි අඩංගු වන සීනි ප්‍රමාණය වැඩියි. වේළන ලද පලතුරු, වියළි මිදි, රටඉඳි ආදියෙහි අඩංගු වන සීනි ප්‍රමාණය ද වැඩියි. ඇඹරැල්ලා, ලොවි, කාමරංගා, කොමඩු, දෙහි, ගල් සියඹලා ආදියෙහි සීනි අඩංගු වන්නේ අඩුවෙන්. අලිගැටපේර සීනි අඩුවෙන් අඩංගු වන පලතුරක්. මෙහි හෘදයට හිතකර මේද කොටස් අඩංගු වෙනවා. පැණිකොමඩු ආදියේ අඩංගු සීනි ප්‍රමාණය අඩු වුවත් එය තීරණය වන්නේ ඔබ ආහාරයට ගන්නා ප්‍රමාණය මතයි. එනම්, පැණිකොමඩු එක් කැබැල්ලක් ආහාරයට ගන්නවාට වඩා කැබැලි කිහිපයක් හෝ සම්පූර්ණ ගෙඩියම ආහාරයට ගැනීමෙන් ලැබෙන සීනි ප්‍රමාණය වැඩි වෙනවා. එම නිසා සීනි අඩු සහ සීනි වැඩි පලතුරු ප්‍රභේද කිරීමට වඩා ඔබ ආහාරයට ගන්නා ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

දියවැඩියාව වැලඳුණු රෝගීන්ටත් පලතුරු ආහාරයට ගත හැකියි. නමුත් පලතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය සහ වේලාව පිළිබඳව සිතිය යුතුයි. ඔවුනට ප්‍රධාන ආහාර

වේලක් ගත් විගස පලතුරක් ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඔවුන් පලතුරු ආහාරයට ගත යුත්තේ ප්‍රධාන ආහාර වේල් 02 ක් අතරටයි. එසේ නොවුණහොත් රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය ඉහළ යා හැකියි. පලතුරු ආහාරයට ගන්නවාට වඩා වැඩි සීනි ප්‍රමාණයක් පලතුරු බීම සහ කෝඩියල් වර්ගවල අඩංගු වෙනවා. එම නිසා ඒවා පරිභෝජනයට ගන්නවාට වඩා සාමාන්‍ය පලතුරු ආහාරයට ගැනීම සුදුසුයි. අප බිස්කට්, කේක් ආදිය ආහාරයට ගන්නා අවස්ථාවල දී ඒ වෙනුවට අතරමැදි කුඩා ආහාරයක් ලෙස (snack එකක්) පලතුරක් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.

 

ශ්‍රී ලංකාවේ වැසියන් පලතුරු ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙන්. දිනකට අවම වශයෙන් පලතුරු 02 – 04 ක් දක්වා ආහාරයට ගත යුතුයි. සාමාන්‍යයෙන් අප කෙසෙල් ආහාරයට ගන්නවා නම් දිනකට ගෙඩි 02 ක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්. එහි උපරිමය වන්නේ කෙසෙල් ගෙඩි හතරක ප්‍රමාණයයි.

 

පලතුරු ආහාරයට ගැනීමේ දී වර්ණවත් පලතුරු ගැනීම සුදුසුයි. ඇතැම් අය එක් ආහාර වේලක් පලතුරුවලින් ම සම්පූර්ණ කරගැනීම වැනි වැරදි පිළිවෙත් අනුගමනය කරනවා. නමුත් පලතුරු යනු ආහාර වේලේ කොටසක් පමණයි.

පලතුරු ආහාරයට ගැනීමේදී නිසි පරිදි තෝරා ප්‍රමිතියෙන් යුතු පලතුරු ආහාරයට ගැනීම සුදුසුයි. ආනයනික ඇපල්, මිදි, දොඩම් ආදිය කල් තබා ගැනීම උදෙසා විවිධ ද්‍රව්‍ය යොදා ගන්නා නිසා එවැනි ආනයනික පලතුරු ආහාරයට ගැනීම සීමා කළ යුතුයි.

 

----------------------------------

ඇදුම රෝගයට පිළියමක්

 

ඇදුම රෝගය ඕනෑම වයසක ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට වැලඳෙන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. ස්වාස නාළයේ ඇතුළත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ශ්වසන මාර්ගය අවහිර වීම මෙහිදී සිදු වේ. නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා, රෝගය උත්සන්න වී මරණයට පත් වීම වුවද විය හැකිය.

මෙම තත්ත්වය ඇති වීමට විවිධ හේතු බලපායි. ඒ අතර සීත ආහාර ලබා ගැනීම, අලුයම හෝ රාත්‍රියේ සීතල ජලය ස්නානය, නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ලබා නොගැනීම, සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුළු වීමෙන්, දූවිලි සහ මකුළු දැල්වල බලපෑමෙන්, වාහනවල දුම, සිගරට් දුම, කාලගුණ වෙනස් වීම්, පරිසර දූෂණය, ඇතැම් සුවඳ විලවුන් වර්ග, දිගු කාලීන පීනසය සහ ගැස්ට්‍රයිටීස් වැනි හේතු ප්‍රධානයි.

 

හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, කිවිසුම් යාම සහ උගුරේ සෙම පැටලීම, පපුවේ හිර ගතිය, හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී ශබ්දයක් මතු වීම, හුස්ම ගැනීමේ අපහසුව නිසා නින්ද නොයෑම, කතා කිරීමේදී අපහසුවක් දැනීම. මේ නිසා බොහෝ ඇදුම රෝගීන් නවත්වමින් කතා කරනු දක්නට ලැබේ, තොල් සහ නියපොතු අවපැහැ වීම, හෘද ස්පන්දනය වේගවත් වීම මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

 

උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ

 

 

[email protected]