වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ලාදුරුවලට තවමත් බයයිද?

ප්‍රත්‍යක්ෂ ඖෂධ ඇති නිසා නිසි ප්‍රතිකාර ලබා ගතහොත් ලාදුරු සුව කළ හැකිවේ. ලාදුරු යනු කුමක්ද?
මෙය සම සහ ස්නායුවල ඇතිවන බැක්ටීරියා ආසාදනයකි. රෝග කාරක බැක්ටීරියාව මයිකෝබැක්ටීරියම් ලිප්රේ නම් වේ. එය කල් පවත්නා රෝගයකි.
ලාදුරු රෝගය බෝවන්නේ කෙසේද?
* බිඳිති මාර්ගයෙන් ශ්වසන පද්ධතිය හරහා බෝවේ.
* රෝගියකු ස්පර්ශ කිරීමෙන් රෝගය බෝ නොවේ.
* වෙනත් අයට රෝගය බෝ කළ කළහැකි රෝගීන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයකට පමණි.
* බැක්ටීරියාව ශරීරගත වන අයගෙන්ද සියයට 90 කට රෝගය නොවැලඳේ.
ලාදුරු රෝග ලක්ෂණ
* සංවේදනය අඩු/නොදැනෙන ළා පැහැති ලප සුලබම ලක්ෂණයයි. ලප එකක් හෝ කිහිපයක් වියළි රෝම අඩු/ නොමැති ලප වේ.
ලාදුරු ලප ප්‍රමාණයෙන් විශාල විය හැකියි.
* ඝන වූ ස්නායු
* බෙල්ලේ හෝ වැලමිට අසල ස්නායුවට අදාළව දුර්වලතාවක්, හිරියක් පැවතිය හැකියි.
* සමේ පැහැයෙන් ගැටිති. මේවාහි සංවේදනය සාමාන්‍ය ලෙස පවතී.
* ගැටිති විශාල සංඛ්‍යාවක් තිබිය හැකියි.
* අත්ලේ හා පතුල්වල හිරියක් පැවතිය හැකියි.
* අත් හා පාවල කල් පවතින හිරිය
* අත්ලේ හා පතුල්වල සුව නොවන තුවාල
* පසුව මුහුණේ ස්වරූපය වෙනස් විය හැකියි.
*සම ඝනකම් වීම
* කන්පෙතිවල ගැටිති
* ඇහිබැම තුනීවීම
* නාසයේ හැඩය වෙනස් වීම
* නාසයේ හිරවීමක් පැවතිය හැකියි. මෙවැනි රෝගීන්ට අන් අයට රෝගය පැතිරවීමට හැකියාව තිබේ.
රෝගය හඳුනාගන්නේ කෙසේද?
බොහෝ අවස්ථාවලදී රෝග පරීක්ෂාවක් පමණක් ප්‍රමාණවත් වෙයි. සමහර විට සමේ විසබීජ පරීක්ෂාවක් සිදු කළ හැකියි. කලාතුරකින් පටක පරීක්ෂාවක් අවශ්‍ය වීමට පුළුවනි. රෝගය නිවැරදිව හඳුනාගත හැකි රුධිර පරීක්ෂණයක් නොමැත.
ප්‍රතිකාර
ඉතා සාර්ථක ඖෂධ මඟින් ලොව පුරා රෝගීන් ලක්ෂ ගණනකට සුවය ලබා දී ඇත.
ප්‍රතිකාරය නිසා ඇතිවන අතුරු ආබාධ අවමය. ගර්භිණී හා කිරි දෙන මවුවරුන්ට පවා මෙම ප්‍රතිකාරය ආරක්‍ෂා සහිතය.
කෙටිකාලීන ප්‍රතිකාර - මෙහිදී ඖෂධ වර්ග දෙකක් පමණක් තිබේ. මාස හයක කාලයක් සඳහා මෙම ඖෂධ ගත යුතු අතර ලප එකේ සිට පහ දක්වා පැවැතියේ විටද ගත යුතු වේ.
දිගු කාලීන ප්‍රතිකාර
මේ සඳහා ඖෂධ වර්ග තුනක් අයත් වේ. මාස 12ක කාලයක් සඳහා එය ලබා ගත යුතු අතර ලප 6ට වඩා වැඩිව පවතින හා බෝවන වර්ගයේ රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ ලැබේ.
නිසි ලෙස ප්‍රතිකාර ලබා ගන්නා අයකුගෙන් අන් අයට රෝගය බෝනොවේ. ප්‍රතිකාර ලබා ගන්නා අයකු පවුලෙන් හෝ සමාජයෙන් වෙන් කිරීමට කිසිදු හේතුවක් නොමැත. ප්‍රතිකාර ලබා ගන්නා අතර සාමාන්‍ය ජීවිතයක්ද ගත කළ හැකි වේ.
ප්‍රවේණිගත රෝගයක්ද?
ලාදුරු ප්‍රවේණිගත රෝගයක් නොවේ. ප්‍රතිකාර ලබාගත් මවක හෝ පියකුගෙන් පසුකාලීනව දරුවන්ට රෝගය බෝ විය නොහැකිවනු ඇත. මෙය බෝවන රෝගයක් බැවින් එකම පවුලක කිහිප දෙනෙකු රෝගයට ගොදුරු විය හැකි වේ. එබැවින් රෝගියෙකු හඳුනාගත් පසු පවුලේ සියලු දෙනා පරීක්ෂා කිරීම වැදගත්ය.
සැක සහිත ලපයක් ඇත්නම්
ළඟම රජයේ රෝහලට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ඔබේ සැකය පිළිබඳ පවසන්න. ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථානයට ම වෛද්‍යවරයා ඔබව යොමු කරනු ඇත.
ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන
ළඟම පිහිටි සමේ රෝග සායනයේ දී රෝග විනිශ්චය කර ප්‍රතිකාර ලබා දෙනු ඇත. මෙම ඖෂධ නොමිලේ ලබාගත හැකි වේ. සමහර රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින්ද ප්‍රතිකාර ලබා ගත හැකියි. මෙම ඖෂධ පෞද්ගලික රෝහල් හෝ ෆාමසිවලින් ලබා ගත නොහැකියි.
ලාදුරු සුව කළ හැකි රෝගයකි. රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පූර්ණ සුවයද ලැබිය හැකි වෙයි. ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් අන් අයට බෝනොවී සියලුම චර්ම රෝග සායනවලින් ප්‍රතිකාරය ලබා ගත හැකියි.
ඉදිරිපත් කිරීම :
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය (ලාදුරු මර්දන)
ඉන්දිරා කහවිට