බර පාලනය කරන Jumping Jacks

පෙබරවාරි 17, 2025

 

කාර්යබහුල ජීවිත ඇතුළේ ඇතැම් වෙලාවට අපිට අපි ගැන හිතන්න පවා වේලාවක් නැතුව ඇති. මේ විශේෂාංගය හරහා අපි කතාබහ කරමින් සිටින්නේ ඔබේ ජීවිතය ව්‍යායාම තුළින් ජීවිතය නිරෝගී කරගන්න ආකාරය පිළිබඳවයි.

 

කාලයාගේ ඇවෑමෙන් බෙහෙත් පෙති ගිලලා ජීවිතය නිරෝගී කරගන්නවාට වඩා මේ කියන සරල ව්‍යායාමවලින් මුළු ජීවිත කාලයම නිරෝගීව ඉන්න ඔයාට පුළුවන්. එහෙනම් අද අපි නිවෙසේදී කළ හැකි තවත් සරල ව්‍යායාමයක් ගැන දැනුම්වත් වෙමු.

 

Jumping Jacks කියන්නේ ඕනෑම කාන්තාවකට පහසුවෙන්ම කළ හැකි ව්‍යායාමයක්. මෙමඟින් ශරීරයේ අනවශ්‍ය කැලරි විනාශවන නිසා ශරීරයේ බර පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අනවශ්‍ය මේදය දහනය කරගන්න කාන්තාවකට වඩාත් සුදුසු ව්‍යායාමයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙමඟින් අත් සහ කකුල්වලට ද ව්‍යායාමක් ලැබෙන නිසා මාංසපේශීන්වල ශක්තිමත් භාවයට ද හේතුවක් වනවා.

 

Jumping Jacks නිතර කිරීම හරහා ශරීරය උණුසුම් වී රුධිර ගමනාගමනය ක්‍රමවත් කරනවා. වැඩි වෙහෙසක් ගෙන කරන ව්‍යායාමවලට පෙර ඇඟ උණුසුම් කරගැනීමටත් මේ ව්‍යායාමය කළ හැකියි.

 

දැන් මෙය අරඹමු.

පළමුව රූපයේ පරිදි අත් දෙක ඉදිරිපස තබාගෙන සෘජුව හිටගන්න. ඉන්පසු දෙවැනි රූපයේ ආකාරයට කුඩා පැනීමක් සමඟම පාද දෙක දෙපසට තබමින් අත් දෙක ඉහළට ගෙන එන්න. මෙය ක්‍රමයෙන් ප්‍රගුණ කරන්න.

 

ඔබ දිනපතා කළ යුතු Jumping Jacks ගණන, ඔබේ යෝග්‍යතා මට්ටම සහ ඉලක්ක මත රඳා පවතියි. පළමුව දිනකට 20 - 30කින් ආරම්භ කරන්න. එලෙස දිනකට සෙට් 3ක් පමණ කිරීම ප්‍රමාණවත්. ඉන්පසු එය ක්‍රමයෙන් 50 දක්වා වර්ධනය කරගන්න. මෙලෙස පැනීම ඉතා වෙහෙසකරවනවිට පැත්තෙන් පැත්තට පාද තබමින් ද මේ ව්‍යායාමය කළ හැකිය. අවම වශයෙන් එක දිගට විනාඩි 10ක් පමණවත් මෙම ව්‍යායාමය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

 

ඒ වගේම මේ ව්‍යායාමය දවසේ ඕනෑම වෙලාවක කළ හැකිය. නමුත් ආහාර ගත් විගස මෙය සිදු කිරීමෙන් වළකින්න.

හෘද රෝග, අධික ලෙස අස්ථි දුර්වලතා සහිත අය මේ ව්‍යායාමය ප්‍රගුණ කරනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි. ඒ වගේම ගර්භිණී කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

 

උපදෙස් -

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර

 

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

නිරූපණය - කාංචනා

 

 

 

[email protected]