කවුද කැමැති කෙස් හැලෙනවට

මාර්තු 10, 2025

හිසකෙස් සම්බන්ධ ගැටලු ගොඩයි. ඒ අතරින් හිස කෙස් හැලීම ප්‍රධානයි. කොණ්ඩය යනවට කවුරුත්ම කැමති නෑනේ.

ඒ සම්බන්ධ ගැටලු ඇති කෙනෙක් ඔබේ රූපලාවණ්‍යාගාරයට ආවොත් කේශලා වණ්‍ය ශිල්පිනියක් ලෙස ඔබ ඒ සඳහා ඇයට හෝ ඔහුට පිහිටවන්නේ කෙසේද? අද අපි ඒ පිළිබඳව කතා කරමු.

 

හිස කෙස් හැලෙන්නේ ඇයි?

පාලනය කරගන්න බැරිද?

හිසකෙස් පිහිටා ඇත්තේ මූලිකවම මිනිසාගේ ආරක්ෂාව සඳහා. එහෙත් මෑත කාලීනව රූපාලංකාරය සඳහා හිසකෙස් මූලිකවම උපකාරී වන අංගයක් බවට පත්වී අවසන්.

හිසකෙස් හැලීම අපට පාලනය කරගන්න බැරිද කියන ප්‍රශ්නෙ අහද්දි ඒකට උත්තර හොයන්න කලින් හිසකෙස් හැලෙන්නේ ඇයි කියන දේට හේතු දැනගෙන ඉන්න එකත් වැදගත් වෙනවා.

 

හිසකෙස් නිසි ලෙස පිරිසුදු නොකිරීම

හිසකෙස් නිසි ලෙස පිරිසුදු කිරීම කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. පිරිසුදු කිරීමට ඔබ භාවිත කරන නිෂ්පාදන කොන්ඩේ ස්වභාවය අනුව තෝරා ගන්නේ කොහොමද සහ භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වනවා. සමහර අවස්ථාවල ඔබ භාවිත කරන නිෂ්පාදන හොඳ ප්‍රසන්න සුවඳකින් යුතු නිෂ්පාදන වෙන්න පුළුවන්. එහෙත් මතක තබා ගත යුතු කාරණයක් වන්නේ හිසකෙස් පිරිසුදුකාර කළ ලෙස භාවිත කරන ෂැම්පු වර්ග හිස්කබලෙන් සහ කෙස්වලින් හොඳින් සෝදා ඉවත්වන තුරුම පිරිසුදු ජලය භාවිත කර සේදිය යුතුවන බවයි.

හිසකෙස් සේදීමට ඇතැම් අය මද උණුසුම් ජලය භාවිත කරනවා. එහෙත් මද උණුසුම් ජලය භාවිත කරන්නේ නම් එහි උණුසුම පාලනයකින් යුක්තව භාවිත කිරීමට සැලකිලිමත් විය යුතු වෙනවා. ඉතා උණුසුම් ජලය හිසකෙස් සඳහා භාවිත කිරීමෙන් කෙස් අධික ලෙස වියළි තත්ත්වයට පත්වීම සහ ගැලවී යාමේ අවදානමක් ද පවතිනවා.

දිගු වේලාවක් හිස කෙස් ආවරණය කර තිබීම, ඇතැම් වෘත්තීන් සහ රැකියා තත්ත්ව අනුව දිගු වේලාවක් හිස ආවරණය කර තිබීම නිසා හිසකෙස් ගැලවී යාමට එයද හේතුවක් වනවා. ඇතැම් අය දිගු වේලාවක් යතුරුපැදිවල ගමන් කිරීමේදී වැඩි කාලයක් හිස ආවරණය වන ආකාරයට හෙල්මට් එක පලඳිනවා. මෙහිදී හිසකෙස්වලට හොඳ වාතාශ්‍රයක් නොලැබීම, අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් එයත් කෙස් හැලෙන්න හේතුවක් වනවා.

 

නිසි පෝෂණයක් නොමැතිකම

අප ගන්නා ආහාර නිසි පෝෂණ තත්ත්වයෙන් නොමැති වීමද අධික ලෙස හිසකෙස් හැලීමට හේතුවක් වනවා. ආහාර ගැනීමේදී සෑම විටම සමබල ආහාර වේලක් ගැනීමට සැලකිලිමත් විය යුත්තේ මේ නිසයි. ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වීමේදී විශේෂයෙන්ම කෘත්‍රිම ලෙස සැකසූ කායික ආහාර ඔබගේ ආහාර රටාවෙන් පාලනය කරගත යුතුවනවා. ඔබ ආහාරයට ගන්නා එළවළු, පලතුරු, පලා වර්ග නැවුම් ඒවා වීමත් වැදගත් කාරණයක්. එහෙත් මේද බහුල ආහාර වර්ග යම්තාක් පාලනයකින් යුක්තව ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු වනවා.

 

අනතුරු ආදිය නිසා අධික රුධිර වහනය සිදුවීම

යම් යම් හේතූන් මත යමෙකුට අනතුරක් සිදු වුවහොත් එයින් අධික ලෙස රුධිර වහනය වූයේ නම් ඒවාද කෙස් හැලීමට හේතුවක් වනවා. දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ අධික ලෙස රුධිර වහනය හිස කෙස් හැලීමට එක්තරා හේතුවක් ලෙස සැලකිල්ලට ගත යුතු වනවා.

තදබල ලෙස ඇතිවන රෝග තත්ත්ව

තදබල ලෙස ඇතිවන ඇතැම් රෝග තත්ත්ව ද (උදාහරණයක් ලෙස ඩෙංගු වැනි) අධික ලෙස කෙස් හැලීමට හේතුවක් වනවා. තදබල රෝග තත්ත්වයට අමතරව එම රෝග තත්ත්වය හේතුවෙන් දෙනු ලබන ඇතැම් ඖෂධ වර්ගද කෙස්වල නීරෝගි බවට එය බාධාවක් වනවා.

 

ශාරීරික මෙන්ම මානසික පීඩනය

බාහිරව ශරීරයට ලැබෙන පීඩාවන් නිසාද හිසකෙස් හැලෙන බව අපි හැමෝම දන්න කාරණයක්. එහෙත් මානසික පීඩා තත්ත්වයන්ට ලක්වන අයගේද කෙස් හැලීම අස්වාභාවික ලෙස සිදුවිය හැකියි.

 

ගැළපෙන නිෂ්පාදන සහ ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන භාවිත නොකිරීම

ඔබ ඔබේ කෙස් කලඹේ ස්වභාවය හඳුනාගෙන ආලේපන හා නිෂ්පාදන භාවිත නොකළහොත්, ඒ පිළිබඳ ඔබට අවබෝධයක් නොමැති වුවහොත් කෙස් අධික ලෙස හැලීමට එයද හේතුවක් වේවි.

එමෙන්ම නිෂ්පාදනය අඩංගුද ද්‍රව්‍ය ඒවායේ ප්‍රතිශතයන් කල් ඉකුත් වීමේ දින ආදිය පිළිබඳ ද සැලකිලිමත් විය යුතුයි.

ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන ඔබ මිලදී ගත්තත් ඒවා නිසි ලෙස නිසි ප්‍රමිතියකින් ගබඩා කර නොමැති නම් මොන තරම් උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් වුවද ගුණාත්මක බවට එය හානියක් වේවි. එසේම එම නිෂ්පාදන කෙස් වලට භාවිත කිරීමෙන් සිදුවන්නේ කෙස් වලට හානියකි. ඒ අනුව අදාළ උපදෙස් නිසි අයුරින් නිෂ්පාදනයේ ගුණාත්මක බවට හානි නොවන අන්දමින් ගබඩාකර තැබීමද වැදගත් වේ. උදාහරණයක් ලෙස හිසකෙස් පිරිසුදු කිරීම සඳහා භාවිත කරන බොහෝ ෂැම්පු වර්ග තද හිරු කිරණ වැටෙන ස්ථානවල ගබඩා කර තැබීම සුදුසු වන්නේ නැහැ. ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම හා නින්දක් නොලැබීම

පුද්ගලයෙක් දෛනිකව අවශ්‍ය ජලය ප්‍රමාණය සිරුරට ලබා නොගෙන දීර්ඝ කාලීනව ඉතා කාර්යබහුලව දිවි ගෙවන්නේ නම් හිසකෙස්වලට අවශ්‍ය පෝෂණ තත්ත්වය නොලැබි යාවි. දිනකට වතුර ලීටර් 2ක් වත් පානය කිරීම සුදුසුයි.

නීරෝගි සිරුරකට මෙන්ම කෙස් කලඹකටද සුවදායී නින්ද වැදගත් වේ. සෑම අයෙක්ම පැය හයකවත් ප්‍රමාණවත් නින්දක් ලබාගන්නේ නම් එය නීරෝගිකමට මෙන්ම නීරෝගි කෙස් කළඹකට හේතුවක් වෙයි.

ඇතැම් රසායන ද්‍රව්‍යවලින් කෙස් කලඹට වන හානි

කෙස් ස්ථිර වර්ණ ගැන්වීම් ස්ථිර ලෙස ඍජු කිරීම් ස්ථීර ලෙස රැලි ගැන්වීම් ආදී රසායනික ක්‍රියාවලියන් මනා දැනුම්වත් බවක් නොමැතිව කිරීම තුළින් කෙස්වලට ප්‍රබල හානියක් සිදු වේ. අධික ලෙස කෙස් කෙස් හැලීමටද එය බලපායි.පමණට වඩා රසායනික ක්‍රියාවලියක් කෙස් තුළ සිදුවීම නිසා කෙස් කැඩී යෑමේ අවදානම් තත්ත්වවලටද මුහුණ දීමට සිදුවෙයි.

කොණ්ඩයට භාවිත කරන උපකරණ පිළිබඳ දැනුම්වත් බවක් නොමැති වීම

කෙස්වලට විලාසිතා කිරීමේදී භාවිත කරන උපකරණ පිළිබඳ මනා අවබෝධයක් නොමැති නම්, පමණට වඩා උෂ්ණත්වය ලබාදීම්, කෙස් ඇදීමකට ලක්වීම්... ආදී වැරදි ක්‍රියාකාරකම් නිසා කෙස් අධික ලෙස ගැලවී යාමට එයද හේතුවක් වෙයි.

කෙස් වලට විලාසිතා සඳහා යම් යම් උපකරණ භාවිත කිරීමේදී උෂ්ණත්වය ලබා දීමට පෙර කෙස් සඳහා තාප ආරක්‍ෂණ නිෂ්පාදනයන් භාවිත කර විලාසිතා කිරීමට ඔබ තුළ අවබෝධයක් දැනුම්වත් බවක් තිබිය යුතු සේම එසේ නොකළහොත් කෙස් කැඩී යෑමකට, පළුදු වීමකට සහ ගැලවී යෑමට හේතුවක් වේ.

 

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

 

[email protected]