වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
Doctor Door

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නිරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසු කරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩාවිඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩාවිඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
අජිත් කරවිට
ලිංගික ආකර්ෂණ ගැටලුවක්
ප්‍රශ්නය
මා 28 හැවිරිදි තරුණියක්. මට කිසිදු විදිහකින් පිරිමි අය ගැන හැඟීමක් ඇති නොවේ. ඒ හැඟීම බලෙන් ඇතිකරගැනීමට නොහැකිය. මාගේ හිත යන්නේ කාන්තාවන්ටය. ඒ නිසා මම පෙම්වතියන් කිහිප දෙනකු ඇසුරු කළෙමි. මා සමලිංගිකයකු කියා ගෙදරින් දැනගත් පසු පවුලේ අය මාව අතහැර දැමුවා. දැන් මම සිටින්නේ මිතුරියකගේ නිෙවසේය. මගේ හැඟීම් වෙනස්කර ගත හැකි ද? මට මේ ගැටලුවෙන් මිදීමට අවශ්‍යයි. කරුණාකර මාහට පිහිට වන්න.
පිළිතුර
ඕනෑම තරුණ තරුණියකට හෝමෝන වෙනස්කම් හේතුවෙන් ලිංගිකත්වය කෙරෙහි ආකර්ෂණයක් ඇති වේ. මෙහිදී වැඩි වශයෙන් ලිංගික ආකර්ෂණය ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහිය. නමුත් කලාතුරකින් තමන්ගේ ලිංගිකත්වයට සමාන කෙනෙක් කෙරෙහි ද මෙම ආකර්ෂණය ඇති වීමට පුළුවන. සමලිංගික ආකර්ෂණය යනු එයයි.
මෙහි අසාමාන්‍යතාවක් නැති නමුත් සමාජය මෙය දකින්නේ ඉතාමත් නරක, පහත්, නින්දිත ඇබ්බැහියාවක් ලෙසිනි. කෙසේ වුව ද සමලිංගික ආකර්ෂණය යනු ඇබ්බැහියාවක් නොවෙයි. එසේම එය රෝගයක් ද නොවෙයි. නමුත් සමාජය තවමත් සමලිංගික බැඳීම් පිළිනොගන්නා නිසා ඔබ වැනි අය සමාජය තුළ දැඩි පීඩනයකට ලක් වේ.
බොහෝ රටවල සමලිංගික විවාහ නීතිගත කර ඇති මුත් ලංකාවෙහි තවමත් එවැනි තත්ත්වයක් නොමැත. එබැවින් මේ සමාජය එවැනි සබඳතා පිළිනොගනියි. මෙවැනි ගැටලුවකට මුහුණ දී ඇති එකම කාන්තාව ඔබ නොවේ. පවුලේ අය තුළ ඇති වැරදි ආකල්ප වෙනස් කළ හැක්කේ ඔබටමයි. මෙහි ස්වභාවය ගැන ඔවුන්ට පැහැදිලි කරන්න. එවිට මෙය ඔබේ වරදක් නොවන බව වටහා ගනිවී.
එමෙන්ම මේ තත්ත්වය ඔබේ ජීවිතයට බාධාවක් වගේ නම් හෝර්මෝන එන්නත් කිරීමෙන් ඔබේ හැඟීම් වෙනස් කිරීමට හැකි නවීන ක්‍රම ද පවතියි. ඒ සඳහා හෝර්මෝන පිළිබඳ වෛද්‍යවරයකුගෙන් සහාය පතන්න.
උත්තේජන ඖෂධ හානිකර ද?
මම වයස අවුරුදු 40ක දෙදරු පියෙක්. මා ලිංගික අප්‍රාණිකත්වයකින් පෙළෙන නිසා ලිංගික උත්තේජන පෙති ලබා ගැනීමට හුරුව සිටිමි. දිගින් දිගටම ලිංගික උත්තේජන ලබාගැනීම ශරීරයට හානිකර ද?
පිළිතුර
ලිංගික අප්‍රාණිකත්වයක් ගැන දැනගත් විට බොහෝදෙනෙක් ලිංගික ක්‍රියාවලියේදී වෙනදා නොමැති අපහසුවක් දැනුණ විට ඔසුසලකින් ලිංගික උත්තේජන ඖෂධ ලබා ගන්නවා. සමහරවිට මෙම ඖෂධ නිසා මුල්කාලයේදී තාවකාලික උත්තේජනයක් ලැබුවත් කාලය ගතවනවිට ඊට ප්‍රතිචාර නොදක්වන්න පුළුවන්. ඊට හේතුව ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවීමේදී යම් පුද්ගලයකුගේ කායික මෙන්ම මානසික රෝග තත්ත්වයන් ද බලපෑමයි.
ඇතැම්විට මේ අන්දමින් ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවන්නේ වෙනත් රෝගයක අතුරු සංකූලතාවක් නිසා වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා කිසිම දිනෙක ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවිට ඒ වෙනුවෙන් හිතුමනාපයට ලිංගික උත්තේජන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ.
සමහරවිට ඔබ වෙනත් රෝගයකින් පෙළෙන අයෙක් නම් මෙම ඖෂධ නිසා අභ්‍යන්තර අවයවයන්හි ක්‍රියාකාරීත්වයට විවිධ සංකූලතාවන් ඇතිවීමට පුළුවන්. අක්මාව දුර්වල වීම සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පසුවන්නේ නම් ලිංගික උත්තේජන ඖෂධ ගන්නවානම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.