ජීවිතය ලස්සන කරන මුහුණ ගැන මුහුණට මුහුණ කතාවක්

මාර්තු 17, 2025

මුහුණ, මුඛය සහ හනු ආශ්‍රිතව ඇතිවන විවිධ, විෂම තත්ත්වයන් සඳහා වෛද්‍ය විද්‍යාවේ පිහිට නොමඳවම ලැබේ. ඒ පිළිබඳ මහජනතාව සතුව ඇත්තේ අඩු දැනුම්වත් බවකි.

 

මුහුණ යනු අපේ අනන්‍යතාවයි. සමාජයත් සමඟ ගනුදෙනු කරන විටදී, අවට වටපිටාවත් සමඟ කටයුතු කරද්දී මුහුණ මූලික වේ. කෙනෙක් හඳුනා ගන්නේ මුහුණ හරහායි. මුහුණ ආශ්‍රිතව ඇති අවයව බෙහෙවින්ම වැදගත් ඒවායි. ඒ ආශ්‍රිත රෝගාබාධ අපේ ජීවිතයට ඍජු බලපෑම් එල්ල කරයි.

 

විභේදනය වූ තල්ල සහ තොල

ඇතැම් අය උපතින්ම මුහුණ ආශ්‍රිතව රෝගාබාධ ගෙන එයි. උදාහරණයක් ලෙස ඇතැම් දරුවන් උපදින්නේම විභේදනය වූ තල්ලක් ඇතිවයි.

විභේදනය වූ හෝ ඛණ්ඩනය වූ තොලක් සමඟයි. මෙවැනි දරුවන් උපතේ සිටම ප්‍රතික්ෂේප කරන්නට ඇතැම් මවුපියන් සමාජය පුරුදු වී සිටි. මේ දරුවන් සියයට සියයක්ම සාමාන්‍ය දරුවන් ලෙස සමාජයට ගෙන ඒමේ හැකියාව තිබේ. ඒ විවිධ ශල්‍යකර්ම හරහායි. මේ දරුවන් රෝහල් ආශ්‍රිතව දීර්ඝ කාලයක් රැකබලා ගැනීමට සිදුවේවි.

මුඛ පිළිකා

අපේ පාලනයෙන් තොරව වැඩීම නිසා හටගන්නා පිළිකා කිහිපයක්ම මුහුණ සහ මුඛය ආශ්‍රිතව පවතී. පිරිමින් අතර පවතින අංක එකේ පිළිකාව ලෙස සැලකෙන්නේ මුඛ පිළිකාවයි. වාර්ෂිකව රෝගීන් 2000ක් 3000ක් පමණ මුඛ පිළිකා ගොන්නට අයත් වේ. දිනකට රෝගීන් තිදෙනෙක් හෝ සිවු දෙනෙක් මුඛ පිළිකා රෝගයෙන් මිය යයි. මුඛ පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා රෝග ලක්ෂණ පෙන්වයි. මේ නිසා හඳුනා ගැනීමේ හැකියාව පවතී. එසේම මුඛ පිළිකා වළක්වා ගැනීමේ හැකියාවද ඉතාම ඉහළයි.

දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මත්පැන් සහ මත්පැන් ආශ්‍රිත නිෂ්පාදන, පුවක් සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන මුඛ පිළිකාව සඳහා බලපෑම් එල්ල කරයි. පාසල් දරුවන් ආශ්‍රිතව පුවක් ආශ්‍රිත නිෂ්පාදන වැඩිපුර අලෙවි වෙයි. මේවා සාමාන්‍ය පුවක් නොව වාණිජකරණයට හසුවූ පුවක් වර්ගයි.

රිය අනතුරු

රිය අනතුරු ද මුහුණ ආශ්‍රිතව බලපෑම් එල්ල කරයි. මේවා මුහුණේ විකෘතිතා ඇති කරයි. ත්‍රිරෝද රථ අනතුරු සහ මෝටර් සයිකල් අනතුරු මේ අතර කැපී පෙනේ. හෙල්මට් භාවිතය සහ මාර්ග නීතිරීති නිසි අයුරින් පිළිපැදීම මේ සඳහා ඇති විසඳුමයි. මේ රෝගීන්ද ශල්‍යකර්ම ඔස්සේ යථා තත්ත්වයට ගෙන ඒමේ හැකියාව වෛද්‍ය විද්‍යාව සතුයි.

සෑම මූලික රෝහලක් දිසා රෝහලකම, ශික්‍ෂණ රෝහලක්ම ආශ්‍රිතව මුහුණ, මුඛ සහ හනු ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරයකු සිටී.

පේරාදෙණිය දන්ත ශික්ෂණ රෝහල සහ කොළඹ දන්ත ශික්ෂණ රෝහල ආශ්‍රිතව වඩා වැඩි වශයෙන් මුහුණ, මුඛය සහ හනු සම්බන්ධ සායන ක්‍රියාත්මක වේ.

මුහුණ යනු ඉතාම සංවේදී අවයවයකි. එහි ඇති පුංචිම හෝ අඩුපාඩුවක් පිටතට මනාව දිස්වේ. මේ ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා රජය විශාල මුදලක් විය පැහැදම් කරයි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය

ආනන්ද රත්නායක

උපදෙස් : කොළඹ ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය

මොහොමඩ් අශ්රොෆ්