වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
Doctor Door

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
ලිංගික ආශාව අඩුවීම රෝගයක් ද?
ප්රශ්නය
මම විවාහක කාන්තාවක්. දරුවන් දෙදෙනෙක් සිටියි. දිනෙන් දින ලිංගිකත්වය පිළිබඳ මා තුළ ඇති කැමැත්ත අඩු වී යයි. මේ ගැන සැමියා සිටින්නේ දැඩි කලකිරීමකිනි. මා හට ඇත්තේ රෝගයක් ද?
පිළිතුර
කාන්තාවකගේ ලිංගික ආශාව අඩු වන්නට කායික මෙන්ම මානසික හේතුත් බලපාන්නට පුළුවන්. ඒ වගේම ලිංගික ක්‍රියාවලිය සඳහා බලපාන කායික අපහසුතා තිබිය හැකියි.
ලිංගිකව එකතු වීමේදී වේදනාකාරී බව, සුරතාන්තයට පත්නොවීම, එමෙන්ම දිනය පුරාම අධිකව වැඩ කිරීම නිසා ඇතිවන වෙහෙස, මෑතක සැත්කමකට මුහුණ දී ඇත්නම් ඒවායේ අපහසුතා, දියවැඩියාව, පිළිකා තත්ත්ව, හදවත් රෝග වැනි රෝග ඊට හේතු විය හැකිය.
බොහෝ අවස්ථාවලදී කාන්තා ලිංගික ආශාවේ හීනබවට මූලිකවම බලපාන්නේ සහකරු සමඟ ඇති ගැටලුයි.
දීර්ඝකාලීන සබඳතාවකින් එකිනෙකා අධිකව හුරුපුරුදු වීම නිසා ඒකාකාරීව ලබන එම අත්දැකීම නීරස වීම නිසා මෙය සිදුවිය හැකියි.
නිමක් නොවන ගැටුම් සහ වාද විවාද නිසාත් සහකරුවා පිළිබඳ අතෘප්තිමත් වීමත් මීට හේතු විය හැකියි. දෙදෙනා අතර සන්නිවේදන දුර්වලතා ඇතිවීමත් මෙයට බලපාන කාරණාවක්. එමෙන්ම විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු නිසාත් ලිංගික ආශාව අඩුවන්නට පුළුවන්.
******************************
මේ ගැටිති භයානක ද?
ප්රශ්නය
38 හැවිරිදි මා අවිවාහක කාන්තාවක්. පෙම්වතා සමඟ ලිංගික ඇසුරක් පවත්වාගෙන යමි. දැන් මගේ රහස් ප්‍රදේශයෙන් ඉන්නන් මෙන් ගැටිති කිහිපයක් හට ගෙන ඇත. දිනෙන් දින මේ තත්ත්වය වර්ධනය වන බවක් දක්නට ඇත. මෙය සමාජ රෝගයක් ද? ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකි ද?
පිළිතුර
මෙම තත්ත්වය හියුමන් පැපිලෝමා කාණ්ඩයේ වයිරසයක් නිසා ඇති වේ. බෝ වෙන්නේ ලිංගික සබඳතාවක් නිසයි. මෙම රෝග තත්ත්වය මවකට ඇති විටක දරු ප්‍රසූතියේදී එය දරුවාට ද වැලඳෙන්න 400කින් 1ක් වගේ අවදානමක් තියෙනවා. ඒ වගේම මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට, සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබ්ගෙල පිළිකා වැලඳීමේ අවදානමක් පවතිනවා.
වයිරසය ශරීරගත වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න මාසයේ සිට මාස 4ක කාලයක් ගතවෙනවා. මුලින්ම මෙහි රෝග ලක්ෂණ මතුවෙන්නේ ලිංගික ප්‍රදේශයේ වියළි ස්ථානවල ඇති වන කුඩා ගැටිති වශයෙනුයි. ඉන් පසු තෙතමනය සහිත ප්‍රදේශවල ඊට වඩා විශාල ගැටිති ඇතිවිය හැකියි. මෙහෙම ඇතිවන ගැටිති කාලයත් එක්ක මඳක් විශාල වෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. සමහර අයගේ පොකුරු වශයෙනුත් ඇතිවිය හැකියි. ඇතැම්විට ගැබ්ගෙල පෙදෙසේ පවා ඇති වෙන්නත් පුළුවන්.
කෙසේ නමුත් ගැටිති ආකාරයෙන් ඇති වන වෙනත් රෝග ලක්ෂණ ද තිබිය හැකියි. උපදංශ රෝගයේ ද්විතීයික අවස්ථාවේ ද මෙම ගැටිතිවලට සමාන රෝග ලක්ෂණ දකින්න පුළුවන්. සමහරවිට සමේ ඇති වන අසාමාන්‍ය වර්ධනය නිසා ද මේවා ඇතිවෙන්න පුළුවන්. එය ලිංගාශ්‍රිත රෝගයක් නෙවෙයි.
රෝගය වැලඳුණොත් නිට්ටාවටම සුව කළ නොහැකියි. නමුත් ගැටිති ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. රෝග ලක්ෂණ ජීවිත කාලය පුරාම මතුවිය හැකියි. මේ සඳහා මුඛ අනුසාරයෙන් ලබාදෙන ඔෟෂධ නැහැ. මේ සඳහා භාවිත කරනු ලබන්නේ රසායනික ආලේපන ක්‍රමයයි. ෆොඩොෆිලින්, TCA වැනි රසායනික මේ සඳහා ආලේප කරනු ලබනවා. අනෙක් ක්‍රමය තමයි, ‘ක්‍රයෝතෙරපි’ නම් ක්‍රමය.
කොහොම වුණත් මෙම ප්‍රතිකාර ක්‍රම තීරණය වන්නේ රෝගියා සිටින තත්ත්වය මතයි.
ගැටිති සුවවන තුරුම සායනයේදී සතිපතා ප්‍රතිකාර ගත යුතුයි. එසේම මෙවැනි රෝගීන් තම ලිංගික ප්‍රදේශ පිරිසුදුව වියළි ස්වභාවයෙන් තබා ගැනීම වැදගත්. එසේම අනිවාර්යයෙන්ම තමන් සමඟ ලිංගික සබඳතා පවත්වන පාර්ශ්වය ද මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ලිංගික ඉන්නන් හැදුණු කාන්තාවන් වසරකට වතාවක් ගැබ්ගෙල පරීක්ෂාවක් කර ගත යුතුයි.
උපදෙස් -
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
අජිත් කරවිට