Doctor Door

අප්‍රේල් 7, 2025

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

 

 ලිංගික එක්වීම වේදනාකාරී ඇයි?

 

 

ප්‍රශ්නය

 

27 හැවිරිදි මා විවාහ වී මාස තුනකි. තවම මා කන්‍යාවියක්. ලිංගිකව එකතු වීමට කොතරම් උත්සාහ කළත් එයින් මට වේදනාවක් ගෙන දේ. දිගින් දිගටම මෙසේ වුවහොත් අපගේ පවුල් ජීවිතයට පවා බලපෑමක් ඇති වේ. මා කළ යුත්තේ කුමක් ද?

 

පිළිතුර

 

ලිංගික එක්වීම වේදනාකාරී වීම Vaginismus තත්ත්වය ඇති බව හඟවන පළමු සලකුණක් වේ. මෙම වේදනාව ලිංගික එක්වීම ආරම්භයේදී පමණක් ඇතිවන මඳ අපහසුතාවයක සිට දැඩි වේදනාවක් දක්වා පරාසයක වෙනස් විය හැකිය. ලිංගික එක්වීම දැඩි ලෙස වේදනාකාරී වන කාන්තාවන් ලිංගික එක්වීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අවස්ථා පවතී. Vaginismus තත්ත්වය සමඟ ඇතිවන වේදනාව ආරම්භ වන්නේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කිරීමත් සමඟය. සාමාන්‍යයෙන්, පුරුෂ ලිංගය යෝනි මාර්ගයෙන් ඉවත් කිරීමත් සමඟ වේදනාව පහව යයි. නමුත්, ඇතැම් විටෙක වේදනාව මඳ වේලාවක් දිගටම පවතින අවස්ථා ද නැතුවා නොවේ.

 

සාමාන්‍යයෙන් අනිසි බිය (Anxiety) සහ ලිංගිකව එක්වීමට පවතින බිය සමඟ මේ තත්ත්වය ඇති වේ.

ඒ වගේම පෙර සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් හෝ වේදනාකාරී අත්දැකීමක් හේතුවෙන් Vaginismus තත්ත්වය ඇතිවනු දැකිය හැකිය. ලිංගික අතවරයකට ලක්වීම, යෝනි මාර්ගය ආශ්‍රිතව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් වේදනාකාරී වීම, ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් පවතින ඇතැම් සංස්කෘතික හා ආගමික මත උදාහරණ ලෙස දැක්විය හැකිය.

 

Vaginismus තත්ත්වය හටගැනීම සඳහා හේතු වන්නේ යෝනි මාර්ගය වටා පවතින මාංස පේශි සංකෝචනය වීමයි. ඒ සඳහා විවිධ ව්‍යායාම පවතී. එම ක්‍රියාකාරකම් මඟින් එම මාංස පේශි සංකෝචනය කිරීමට සහ ලිහිල් කිරීමට පුහුණු විය හැකියි. ඒ වගේම ලිංගික ක්‍රියාවලියට පෙර මනස නිදහස්ව තබාගන්න. සතුටින් අරඹන්න. ප්‍රතිඵලයක් නොමැති නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.

-----------------------

මේ රෝගය භයානක ද?

 

ප්‍රශ්නය

 

මා විවාහ අපේක්ෂිත යුවතියක්. පෙම්වතා ගොනෝරියා රෝගියෙක් නිසා ඔහු විවාහ වීමට බියක් දක්වයි. ඔහු ඉතා හොඳ අවංක අයෙක්. ඔහු පවසන්නේ එම රෝගය පොදු වැසිකිළි භාවිතය නිසා ඇති වූ බවකි. එසේ සිදුවිය හැකි ද? මා ඔහු සමඟ විවාහ වීම සුදුසු ද? මේ රෝගය භයානක ද?

 

පිළිතුර

 

ගොනෝරියා වැලඳෙන්නේ ‍ගොනෝරියා රෝගියකු සමඟ ලිංගිකව එකතුවීමකිනි. ගොනෝරියා රෝගයේදී ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින 2-21 අතරදී රෝග ලක්ෂණ මතුවේ.

ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ.

 

මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව, අස්වාභාවික ඔසප් වීම, යටි බඩ වේදනාව, කෙණ්ඩ පෙරළීම වැනි ලක්ෂණ දැකිය හැකිය.

 

ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිෂ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.

 

ප්‍රතිකාර නොගැනීමෙන් විය හැකි ප්‍රතිඵල වඩා තදබල ආසාදන ඇති කළ හැකිය. ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දරුඵල නැතිවිය හැකිය. ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇසෙහි යෝනි තරල තැවරීමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැකියි. ඔහුව ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරවන්න.

 

ඔහු සමඟ විවාහ වීම ගැන ඔබම සිතා තීරණ ගැනීමයි වැදගත් වන්නේ. ඔබට තනිවම තීරණයක් ගැනීමට අපහසු නම් ඔබ දෙදෙනාම වෛද්‍යවරයකු හමු වී මේ ගැන සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීම වඩා සුදුසුයි.

 

 

[email protected]