Doctor Door

අප්‍රේල් 21, 2025

 

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

 

 

ඉකිළි ආසාදනයක් ද?

 

ප්‍රශ්නය

මා 31 හැවිරිදි කාන්තාවක්. මාගේ ඉකිළි ප්‍රදේශයේ දැඩි කැසීමක් පවතී. මෙය මාසයක පමණ කාලයක සිට පවතින තත්ත්වයකි. නිතර කැසීම නිසා දැන් තුවාල ද හට ගෙන ඇත. මෙය ආසාදනයක් ද? ප්‍රතිකාර ගත යුතු ද?

 

පිළිතුරු

 

මෙය චර්ම රෝග කාණ්ඩයට අයත්වන රෝගී තත්ත්වයක්. මෙය පහසුවෙන් සුව කළ හැකි රෝගී තත්ත්වයක් වුවත් බොහෝ අය දිගුකාලීනව මෙයින් පීඩා විඳිනවා. මෙයට හේතුව තමයි ගොඩක් අය හිතනවා මෙය සාමාන්‍ය දෙයක් විදිහට. නමුත් මෙය සාමාන්‍ය තත්ත්වයක් නම් නොවෙයි.මෙය හඳුන්වන්නේ

Taenia Cruris රෝගය ලෙසයි. කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම සෑදෙන මෙම රෝගී තත්ත්වය ඉතා කුඩා දදයක ස්වරූපයෙන් හටගෙන ක්‍රමයෙන් විශාල ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්.

 

මෙම තත්ත්වය ඇති වීමට හේතු කිහිපයක් බලපානු ලබයි. තදට අඳින යට ඇඳුම් නිසා ඉකිළිය කැපීම, ඉකිළිය ප්‍රදේශයට වැඩිපුර දහඩිය දැමීම හා ඒවා වැඩි වේලාවක් රැඳී තිබීම, විශේෂයෙන් දහඩිය උරා නොගන්නා යට ඇඳුම් භාවිත කිරීම සහ කොමඩ් එකක් සහිත පොදු වැසිකිළි භාවිතයෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

 

සම රතුවීම, පතුරු ගැලවීම, බිබිළි ඇති වීම, කැසීමේදි ඒවා බිඳී යාමෙන් දියර වැනි යමක් ගැලීම, මුලදී ඉකිළිය ප්‍රදේශ කැසීම හා පසුව එය කලවා ප්‍රදේශයට හා ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වීම සහ කැසීම සහිත ප්‍රදේශය රතු වී ඉහළට එසවුණු ගැටිත්තකින් වට වී තිබීම මෙම තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

 

මෙම තත්ත්වය වළක්වා ගැනීමට නම් ඉකිළිය අවට තෙතමනය අවම කර වියළි තත්ත්වයෙන් තබා ගන්න.

ඉකිළිය අවට කැසීම ඇතිකරන යට ඇඳුම් භාවිත නොකරන්න. වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ක්‍රීම් වර්ගයක් දිනපතා සති 2 ක් පමණ ආලේප කරන්න.

කැසීම නිසා ඉකිළිය අවට තුවාල සිදු වී ඇත්නම් විෂ බීජනාශක ඖෂධ ද ලබා ගත යුතුයි.

 

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා

ප්‍රශ්නය - 38 හැවිරිදි අවිවාහක කාන්තාවක්. මාගේ ඔසප් චක්‍රය මාස 5ක සිට අක්‍රමවත් වී ඇත. මාස හතරකට පසු පසුගිය මාසයේදී ඔසප් වීම සිදු වුණත් එය තිබුණේ දිනක කාලයක් පමණි. මෙසේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක ද?

 

පිළිතුරු

 

ඔසප් වීම සිදුවීම පාලනය වන්නේ හෝමෝන පද්ධතිය මඟිනි. ඒ සඳහා බලපාන හෝමෝන රැසක් ඇත. ප්‍රධාන වශයෙන්ම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නමැති කාන්තා හෝමෝනය බලපායි. ඊට අමතරව ටෙස්ටෙස්ටෙරෝන් නමැති පුරුෂ හෝමෝනය, ඉන්සියුලින්, තයිරොක්සින්, ආදී හෝමෝන රැසක්ද මේ සඳහා බලපායි. මෙම හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවන විට එම හෝමෝනවල අසමතුලිතතාවක් මතු වේ. එම අසමතුලිතතාව ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය සිදුවීමට බාධා ඇති කරයි. මානසික පීඩනය නිසා මෙම හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ ගැටලු මතුවී ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය. විභාගයකට මුහුණදීම, ආදර සම්බන්ධතාවක් බිඳවැටීම, පවුලේ සමීපතමයකුගේ මරණයක් සිදුවීම, තමා ජීවත් වූ සුපුරුදු පරිසරයෙන් වෙන්වී වෙනත් ප්‍රදේශයකට යෑමට සිදුවීම ආදිය නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීම බහුලව දැකිය හැකිය.

 

තරුණ වියේ පසු වන යුවතියන් අතර වර්තමානයේ මෙම රෝගය බහුලව මතුව ඇත. මැදිවියට පත් වූ කාන්තාවන් අතර මෙම රෝගය පවතින විට ඔවුනට ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට අමතරව දියවැඩියාව, හෘදයාබාධ, ගර්භාෂගත පිළිකා, කොලෙස්ටරෝල් අධික වීම, අධි රුධිර පීඩනය මතුවීම වැනි රෝග ද මතුවිය හැකිය.

ඒ නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බල පෑ හේතුව සොයා බලා ප්‍රතිකාර අැරඹීම කළ යුතුයි. මෙය භයානක තත්ත්වයක් නොවෙයි ප්‍රතිකාර මඟින් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගත හැකිය.

 

[email protected]