මේද දහනයට Floor cycling workout

අප්‍රේල් 28, 2025

සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මඟින් වුවද සිරුරේ සෑම මාංසපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලිතාව රැක ගැනීමේ සිට නීරෝගි දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වන්නේ කෙසේද යන්න දැනුම්වත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

නිවැරැදි ව්‍යායාම රටාවකට හුරුවීම ඔබව නීරෝගී කරනවා පමණක් නොව හැඩැති සිරුරකට හිමිකම් කියන්නට ද අවස්ථාව උදාකර දෙනවා. Floor cycling workout කියන්නෙත් ඒ විදිහට ඔබව හැඩ කරන ව්‍යායාමයක්. අද අපි කතා කරමු ඒ ගැන. Floor cycling workout කියන්නේ ඕනෑම කාන්තාවකට පහසුවෙන්ම කළ හැකි ව්‍යායාමයක්. මෙමඟින් ශරීරයේ අනවශ්‍ය කැලරි විනාශවන නිසා ශරීරයේ බර පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අනවශ්‍ය මේදය දහනය කරගන්න කාන්තාවකට වඩාත් සුදුසු ව්‍යායාමයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. උදරයේ අනවශ්‍ය මේද දහනයට වගේම කොඳු ඇට පෙළෙහි ශක්තිමත්භාවයට ද වැදගත් වන ව්‍යායාමයක් විදිහටයි මෙය සලකන්නේ. එමෙන්ම සිරුර නම්‍යශීලි කර මාංසපේශී ශක්තිමත් කර දෙයි.

 

Floor cycling workout යෝගා මැට් එකක් මත සිටිමින් පහසුවෙන් කළ හැකිය. දැන් මෙය අරඹමු. යෝගා මැට් එක මත වැතිර දෑත් හිස දෙපසට ගෙන එන්න. දැන් පළමු රූපයේ පරිදි දකුණු කකුළ දණ ඉසෙන් නවාගෙන උදරයේ මතට දණ ඉස ගෙන එන්න. ඒ සමඟම ගෙල ප්‍රදේශයෙන් මඳක් ඉස්සි හිස වමට ගෙන එන්න. මේ ලෙසම දෙවැනි රූපය දෙස බලා වම් පාදයත් දණ ඉසෙන් නවා උදරය මතට ගෙනගොස් හිස දකුණට ගෙන එන්න. මෙය ක්‍රමයෙන් ප්‍රගුණ කරන්න. ඔබ දිනපතා කළ යුතු Floor cycling workout ගණන ඔබේ යෝග්‍යතා මට්ටම සහ ඉලක්ක මත රඳා පවතී. අවම වශයෙන් එක දිගට තත්ත්පර 45 - 60ක් කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම ව්‍යායාමය කරන විට උකුළ ප්‍රදේශය හොඳින් ඔසවා කිරීමෙන් වැඩි ප්‍රතිඵල හිමි කර දෙයි.

 

මේ ව්‍යායාමය දවසේ ඕනෑම වෙලාවක කළ හැකි නමුත් ආහාර ගත් විගස මෙය කිරීමෙන් වළකින්න.

හෘද රෝග, අධික ලෙස අස්ථි දුර්වලතා සහිත අය මේ ව්‍යායාම ප්‍රගුණ කරනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි. ඒ වගේම ගර්භිණී කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

 

 

උපදෙස් -
ශරීර යෝග්‍යතා උපදේශිකා
මෙත්මා බිසේකා නානායක්කාර