Doctor Door

මැයි 5, 2025

ඔබේ ගැටලුව අපට එවන්න 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

 

සැමියාගේ වෙනස අනියම් ඇසුරක් නිසා ද?

ප්‍රශ්නය

 

මම දියණියන් දෙදෙනකු සිටින 38 හැවිරිදි මවක්. මා විවාහ වී වසර 12කි. සැමියා ඉතා යහපත් අයෙක්. මෙතෙක් අපගේ ලිංගික ජීවිතය යහපත්ව ගෙන ගියත් මාස තුනක පමණ කාලයක සිට ඔහු එය මඟහරින බව දැනෙයි. එයට හේතුව කුමක් ද? මා ඉතා පිළිවෙළට පිරිසුදුව ලස්සනට ජීවත් වෙන කෙනෙක්. ඔහු මෙසේ වෙනස් වීමට හේතුව අනියම් සබඳතාවක් විය හැකි ද?

 

පිළිතුර

 

ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරිකව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. ඉතින් සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිටම එක හා සමාන වන්නේ නැහැ.

හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ.

සමහරවිට ඊට හේතුව ඔහුගේ වැඩ අධික බව, දරුවන් නිසා නිදහසක් නැති වීම, කාර්යාල කටයුතු නිසා මනස ආතතියකට ලක් වී තිබීම, ඔහු රෝගී තත්ත්වයකට පත්ව සිටීම වැනි කුමක් හෝ හේතුවක් විය හැකියි.

ලිංගික අසාර්ථකත්වයට හේතුව කුමක් වුවත්, එය වහාම හඳුනාගැනීම සහ පිළියම් යෙදීම අත්‍යවශ්‍යයි.

 

සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යාමේදී දෙදෙනා අතර බැඳීම ශක්තිමත් වීමට ලිංගිකත්වයද බලපානු ලබයි. ඒ නිසා කණපිට පෙරළෙන්නට යන ඔබේ ලිංගික ජීවිතයට ජවය, බලය සහ ශක්තිය එකතුකරගත යුතු වන්නේ ඔබමයි. හේතුව නොදැන ඔහුව නිකරුණේ සැක කිරීමෙන් සිදු වන්නේ තවත් ඔහු ඔබෙන් ඈතට යාම පමණයි. ඔහු විවේකීව සිටින මොහොතක ආදරයෙන් ආමන්ත්‍රණය කොට ඊට හේතුව විමසන්න. ඒ අනුව අවශ්‍ය පිළියම් යොදන්න.

 

 

කොමඩ් භාවිතයෙන් සමාජ රෝග වැලඳෙනව ද?

ප්‍රශ්නය

 

මා ජනාකීර්ණ නගරයක කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන කාන්තාවක්. මාගේ වෙළෙඳසල තුළ වැසිකිළි පහසුකම් නොමැත. ඒ නිසා අසල පිහිටි පොදු වැසිකිළිය මාගේ අවශ්‍යතා සඳහා භාවිත කරමි. එම වැසිකිළිය දිනකට බොහෝ පිරිසක් භාවිත කරති. පොදු වැසිකිළියක් භාවිත කිරීමෙන් සමාජ රෝග වැලඳිය හැකි ද?

 

පිළිතුර

 

සමාජ රෝග කියා දෙයක් නොමැත. මෙය වැරදි ව්‍යවහාරයකි. නූතන ලෝකයේ භාවිත වන්නේ ලිංගිකව හා සමලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනුවෙනි.

බහුතරයක් ආසාදිතයෝ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරති. එහෙත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවය, යෝනි මාර්ගය අවට කැසීම්, ‍යටි බඩෙහි කොරයක් හට ගැනීම, ලිංගිකව එක් වීමෙදී වේදනාවක් දැනීම මෙන්ම අසාමාන්‍ය රුධිර වහනය වැදගත් රෝග ලක්ෂණ.

ඒ වගේම ලිංගික ප්‍රදේශ ආශ්‍රිත තුවාල, කුෂ්ඨ, ඉන්නන් ආදිය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල ලක්ෂණ අතර වේ.

විශේෂයෙන් රෝග ලක්ෂණ පැවතියත් නැතත් මෙවැනි රෝගයක් ඇති බවට යම් සැකයක් ඇත්නම් වෛද්‍ය සහාය ලබා ගන්න. ලිංගික සෞඛ්‍ය සායන සඳහා යොමු වීමට අනිසි ලෙස ලජ්ජාවක් හෝ බියක් ඇති කර නොගන්න. ඔබේ පැරණි ආකල්ප වෙනස් කර ගන්න. ලිංගික සෞඛ්‍ය යන්නද අපගේ මූලික සෞඛ්‍යයේ කොටසක්. ලිංගික ඉන්නන්, හර්පීස්, උපදංශය, ගොනෝරියා, කැමීඩියා සහ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය, බැක්ටිරියල් වැජිනෝසියාව යනු සුලබව දක්නට ලැබෙන ලිංගික සම්ප්‍රේෂණ රෝග වේ. එමෙන්ම එච්.අයි.වී ආසාදනයද ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. මේ සියලුම රෝග ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික එකතුවීමකින් වැලදේ. ඉතා කලාතුරකින් කොමඩ් භාවිතය නිසා ට්‍රයිකෝ මොනෝසියාව වැනි ලිංගික ආසාදන රෝගය වැලඳිය හැකිය. නමුත් එය දරුණු ලිංගික සම්ප්‍රේෂණ ආසාදන රෝගයක් නොවෙයි.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යන්න ඔබගේ මූලික සෞඛ්‍යයේ එක් අංගයක්. කාන්තාවක් ලෙස එම මූලික සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත්. ඔබ පොදු වැසිකිළි භාවිත කරනවා නම් නිතර පිරිසුදුව තිබෙන පොදු වැසිකිළියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

 

[email protected]