වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
කොස් ගහෙන් කෙස් ගහට රස කෑම

ඔන්න ආයෙත් කොස් වාරය ඇවිල්ලා. ගමේ ගොඩේ හැම තැනකම කොස් ගස් යට වැල වරකා බුරුතු පිටින් වැටිලා. එළවළුත් පොඩ්ඩක් ගණන් ගිහින් තියෙන මේ කාලේ නරක ද කොස්වලින් වෑංජනයක් දෙකක් හදාගෙන වේලක් පිරිමසාගන්න එක.
කොහොමත් ලංකාවේ අපි කොස් ගහ හඳුන්වන්නෙ බත් ගහ කියලනෙ. බත් නැති වුණත් කොස්වලින් බොහොම රසට වේලක් පිරිමහගන්න අපේ අත්තම්මලා, අම්මලා දැනන් හිටියා. කියන්න සතුටුයි දැන් දැන් කොස් කියන්නෙ ජාත්‍යන්තරය පවා ප්‍රිය කරන කෑමක්. ඉතින් කොස්වලින් වගේම වරකාවලිනුත් ඉතාම රසවත් වෙනස් විදියෙ කෑම ටිකක් හදන හැටි ඔයාලට ගේන්න අපි හිතුවා.
නිර්මාංශ අයට නම් මේ කෑම බොහොම වැදගත් වේවි. එකම විදිහට කන්නෙ නැතුව වෙනස් විදිහට කොස් කන්න ක්‍රම කීපයක්ම තියෙනවා.
බලන්න, කොස්වලින් මේ දේවල් කරන්න පුළුවන් කියල ඔයාලා දැනන් හිටියේ නෑ නේද කියල.
හදල බලලම බලන්නකො රස කොහොමද කියල.
කොස් බර්ගර්
සිහින් තීරු ඉරාගත් කොස් මදුළු 7-8ක් (කොස් ඇට නැතුව)
තෙල් මේස හැඳි 2ක්
චොප් කර ගත් ලූනු මේස හැඳි 2ක්
තළාගත් සුදු ලූනු බිකක්
සූදුරු කුඩු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
BBQ සෝස් කප් 1/4ක්
වතුර කප් 1/4ක්
දුඹුරු සීනි මේස හැන්දක්
රස අනුව ලුණු
01. කොස් ටික ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබා ගන්න.
02. තෙල් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න.
03. එයට කොස්, සීනි, මිරිස්, ගම්මිරිස්, සූදුරු, ලුණු එක් කර මඳක් තෙම්පරාදු කර වතුර එක් කර පියනකින් වසා අඩු ගින්දරේ වතුර හිඳෙන තුරු තබන්න.
04 . අවසානයට සෝස් දමන නිසා ලුණු එක් කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න.
05 . එයට සෝස් ටික එක් කර තවත් විනාඩි 3-4ක් ළිපේම තබා මිශ්‍ර කර බටර් ගාගත් සබ්මැරීන් බන් හෝ බර්ගර් බන් එකක් මැදට දමා කැමති නම් සලාද කොළ, තක්කාලි සහ ලූනු පෙති එක් කර උණුවෙන්ම රස බලන්න.
-----------------------
ස්පයිසි ස්නැක්
දෙකට පළාගත් කොස් මදුළු ටිකක්
කඩල පිටි කප් 1 1/2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
කහ කුඩු ස්වල්පයක්
සූදුරු ඇට ටිකක්
සිහින්ව ලියාගත් කරපිංචා
ලුණු
01. කොස් හැර අනෙක් සියල්ල එකට එක් කර වතුර දමාගන්න.
02. එයින් තරමක් ඝනකම බැටර් එකක් සාදාගන්න.
03. කොස් මදුළු බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
04. අවශ්‍ය පමණ තෙල් රත් වෙන්න තබා මිශ්‍රණය තේ හැන්දක පමණ ප්‍රමාණයක් තෙලට දමා දුඹුරු පැහැ වනතුරු බැදගන්න.
--------------------
වරකා කේක්
හොඳින් පොඩි කර ගත්, හොඳින් ඉදුණු වරකා
මදුළු 4ක්
පිටි කප් 1ක්
බේකින් පවුඩර්
තේ හැඳි 1 1/2ක්
බේකින් සෝඩා ස්වල්පයක් (ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණයක්)
බිත්තර 2ක්
ලුණු ස්වල්පයක්
තෙල් කප් 1/2ක් (ඔලිව් හෝ එළවළු තෙල්)
වැනිලා තේ හැන්දක්
කිරි කප් 1/2ක්
කුඩු කරගත් සීනි කප් 3/4ක් (පැණි රසට අකමැති නම් අඩුවෙන් ගන්න)
කහ පාට ෆුඩ් කලරින්
බින්දුවක් ( අවශ්‍ය නම්)
01 . පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා තුන් වරක් පමණ හලාගන්න.
02 . බිත්තර, සීනි, ලුණු හොඳින් බීට් කර ගන්න.
03. එයට තෙල් එක් කර විස්ක් එකකින් මිශ්‍ර කර ගන්න.
04 .වැනිලා, ෆුඩ් කලරින්, කිරි සහ පල්ප් කර ගත් වරකා එක් කර හැන්දකින් හෝ විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න.
05 . එයට පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් හැන්දකින් පෙරළමින් මිශ්‍ර කර ගන්න.
06 . හොඳින් බටර් ගාගත් තැටියකට දමා සෙල්සියස් 180ට රත් කර ගත් අවන් එකක දමා විනාඩි 40ත් 45ත් අතර කාලයක් බේක් කර ගන්න.
---------------
ස්වීට් ස්නැක්
පොඩියට කපා ගත් කොස් කප් 5ක්
හාල් කප් 2ක්
පොල් කප් 1/4ක්
හකුරු කප් 1/2ක්
01. හාල් පැය 4ක් පමණ පෙඟෙන්න තබා වතුර බේරා ගන්න.
02. අනෙක් සියල්ල එක් කර ඝන පේස්ට් එකක් වන තෙක් අඹරාගන්න.
03. ඒ සඳහා වතුර ඉතාම ස්වල්පයක් එක් කර ගන්න.
04. අවශ්‍ය පමණ තෙල් රත් වෙන්න තබා මිශ්‍රණය තේ හැන්දක පමණ ප්‍රමාණයක් තෙලට දමා දුඹුරු පැහැ වනතුරු බැදගන්න.
----------------
කොස් තෝසේ
හාල් කප් 1ක්
කොස් ඇට නැතුව මදුළු 5ක් පමණ
අමු මිරිස් කරල 2ක්
ගා ගත් පොල් කප් 1/2ක්
ලුණු
01 . හාල් ටික පැය 4ක් පමණ පොඟවා ගන්න.
02 .පොඟවා ගත් හාල් සහ අනෙක් සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
03 . මෘදු පේස්ට් එකක් සාදාගන්න.
04 . තෝසේ පදමට අවශ්‍ය පමණ වතුර එක් කර තෝසේ සාදාගන්න.
උපදෙස්
සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක