දරුවකුගේ ලෝකය ලස්සන කිරීමට මවුපියන්ගෙන් පසුව ඒ තැනට පත්වන්නේ ගුරුවරුන් ය. ගුරුවරයකු විසින් සිදු කරන්නේ රටක අනාගත පුරවැසියන් වීමට සිටින දරුවන්ගේ වටිනාකම් වැඩිදියුණු කරමින් ඔවුනගේ චරිත දැනුමින් හා යහ ගුණවලින් පෝෂණය කිරීමයි. ගුරු වෘත්තියක්ම නොවී ගුරු සේවයක් වන්නේ මේ ගුණාත්මක බවද ගුරුවරුන් සතුව තිබෙන බැවිනි. නමුත් අද වන විට ගුරු වෘත්තිය යාවත්කාලීන විය යුතු බවට සමාජ කතිකාවක් පවතී.
අපේ රටේ රජයේ පාසල් 10,096ක් මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර ශිෂ්‍යයෝ 3,882,608ක් පමණ ප්‍රමාණයක් ඒවායෙහි අධ්‍යාපනය ලබති. ගුරුවරු 237,787ක් පමණ ද මේ පාසල්වල සේවය කරති. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති රීති අනුව විවිධ ක්‍රමවේදවලින් ගුරුවරුන් බඳවා ගන්නා අතර දැනට උපාධිධාරී, ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී, ගුරුවරු පාසල්වල ඉගැන්වීම් සිදු කරති. මේ අතරින් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා පාඨමාලා කාලය තුළදී ම ගුරු සේවය සඳහා අවශ්‍ය වන වෘත්තීයමය දැනුවත් බව හා නිපුණතාව ලබා දුන්න ද උපාධි ගුරුවරුන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී. එසේ වන්නේ උපාධි ගුරුවරුන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරා තම වෘත්තීය නිපුණත්වය සංවර්ධනය කරගත යුතු වුවද ඒ සඳහා නිශ්චිත කාලයක් දක්වා නොමැති වීම නිසයි.
ගුරු භූමිකාවේ යාවත්කාලීන බව
මේ නිසා පාසල්වල ගුරු වෘත්තිය පුහුණුව ලැබූ හා නොලැබූ ගුරුවරු ද ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරත වෙති. නමුත් සාර්ථක ගුරු භූමිකාවකට එනම් දරුවන්ගේ මානසිකත්වය, ඉගැනුම් ක්‍රියාවලින් මෙන්ම ඒ සඳහා යොදා ගන්නා සාර්ථක ක්‍රමවේද, ඉගැන්වීමේ දී යොදා ගත හැකි තාක්ෂණික ක්‍රමවේද ආදී වූ දේ පිළිබඳ දැනුවත් වීමට ගුරු වෘත්තිය සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයකි. එසේම මෙය එක් කාලයක දී පමණක් නොව, ගුරුවරයාගේ සේවා කාලය පුරාවටම විවිධ පැතිකඩ ඔස්සේ සිදු කළ යුතු වූවක් බව කිව හැකිය. යම් ගුරුවරයකු ශික්ෂණ විද්‍යා පුහුණුව හෝ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගත් පමණින් ඔහුගේ ගුරු වෘත්තිය සංවර්ධනය අවසන් වන්නේ නැත. එසේ පවසන්නේ, ගුරුවරයා නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු හා එසේ නොවුණහොත් ඉතා පහසුවෙන් හා කෙටි කලකින් දැනුම ලබා ගත හැකි වත්මන් සමාජය තුළ ශිෂ්‍යයා ගුරුවරයා අභිභවා යන තත්ත්වයක් ඇති විය හැකි බැවිනි.
ගුරු පෞර්ෂය සංවර්ධනය
කලින් කලට සිදු කරන විෂයමාලා සංශෝධන, විෂයමාලාවට නව විෂයන් හඳුන්වාදීම සහ නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික, පළාත් සහ කලාප මට්ටමින් ගුරු වෘත්තිය සංවර්ධනය සඳහා දායකත්වය සපයයි. නමුත් ගුරු භූමිකාවට අදාළ කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා ගුරු වෘත්තිය සංවර්ධනයට ගුරුවරයා තුළ ස්වයං පෙලඹවීමක් ඇති විය යුතුය. එය වැටුප් වර්ධකය ලබා ගැනීමට හෝ වෙනත් ප්‍රතිලාභයක් සඳහා නොව, හුදෙක් තම ගුරු පෞරුෂය සංවර්ධනය සඳහාම වීම වැදගත් ය.
කුසලතා සංවර්ධනය
ගුරු වෘත්තිය සංවර්ධනය කිරීම සඳහා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය වන පුහුණුව පමණක් නොව, ගුරු භූමිකාවටම අදාළ වූ අනෙකුත් කුසලතාවන් වන සන්නිවේදන කුසලතාව, තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂත්ව සංවර්ධනය හා නායකත්ව හැකියාව ආදී මෘදු කුසලතා ද සංවර්ධනය විය යුතුය. ඒ හැරුණු විට විෂය දැනුම, නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ දැනුම, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම සහ ඉගැන්වීම් සඳහා තාක්ෂණය භාවිත කිරීම ආදිය පිළිබඳ දැනුම ද ගුරුවරයකුට අත්‍යවශ්‍ය වේ. ගුරුවරයාගේ වෘත්තිය සංවර්ධනය කළ යුතු ආකාරය අවධි කිහිපයක් ඔස්සේ දැක්විය හැකිය.
පෞද්ගලික සංවර්ධනය
ඒකල නැතිනම් තනි පුද්ගලයන් වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි අතර ගුරුවරයා පෞද්ගලිකව තමාගේ වෘත්තිය සංවර්ධනය කරගැනීම මෙයින් අදහස් කෙරෙයි. තමාගේ වෘත්තිය සංවර්ධනයට අදාළ ලිපි කියවීම, විවිධ අධ්‍යාපනඥයන්ගේ දේශන හා සාකච්ඡාවලට සවන් දීම මේ සඳහා උදාහරණ සපයයි. යුගල වශයෙන් ක්‍රියාත්මක වැඩසටහන් ලෙස ගැනෙන්නේ එකම පාසලේ ගුරුවරුන් දෙදෙනකු එකතු වී එකිනෙකාගේ ඉගැන්වීම් අධීක්ෂණයකර අදහස් හුවමාරුකර ගැනීමෙන් ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රබලතා හා දුබලතා සාකච්ඡා කිරීමයි.
කුඩා කණ්ඩායම් පර්යේෂණ
කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වැඩසටහන් ලෙස දැක්විය හැකි වන්නේ, පාසලේ ගුරුවරුන් කිහිප දෙනකු කුඩා කණ්ඩායම් ලෙස එකතු වී ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ විවිධ කරුණු, නව ඉගැන්වීමේ ක්‍රමවේද, පර්යේෂණ වාර්තා පිළිබඳ සාකච්ඡා කිරීම සහ තම පාසල පදනම් කරගනිමින් කුඩා පර්යේෂණ සිදුකිරීමයි. මේ ක්‍රියාකලාපයන් ඔබේ වෘත්තීය සංවර්ධනයට මනා පිටිවහලකි.
වැඩමුළු සංවිධානය
විශාල කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වැඩසටහන් ලෙස, විවිධ පාසල්වල ගුරුවරුන් ඒකරාශී කරගනිමින් ගුරු වෘත්තිය සංවර්ධනය සඳහා වැඩමුළු සංවිධානය කිරීම ආදිය දැක්විය හැකිය. වර්තමානයේ කලාප අධ්‍යාපන කාර්යාල මඟින් නිරන්තරයෙන් මෙවැනි පුහුණු වැඩසටහන් නිරන්තරයෙන් සංවිධානය කෙරෙයි. විවිධ ප්‍රදේශවල ගුරුවරුන් ඒකරාශීකර වෙනත් රටවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් හා නව ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දීම මේ යටතේ ක්‍රියාවට නැංවිය හැකි වඩාත් ඵලදායී වැඩසටහනකි.
අභ්‍යන්තර අධීක්ෂණය
ගුරු වෘත්තිය සංවර්ධනයට පාසල මඟින් මනා දායකත්වයක් ලබා දිය හැකිය. පාසලක සිදු කරන අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත්කර නිරන්තරයෙන් ගුරුවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණ කළ යුතුය. එසේ වූ විට පාසල් මට්ටමින් විශේෂ ඉගැන්වීමේ කුසලතා ඇති ගුරුවරුන් මෙන්ම ඉගැන්වීමේ දුර්වලතා සහිත ගුරුවරුන් ද හඳුනාගැනීමට හැකියාව ලැබේ. විශේෂ ඉගැන්වීමේ කුසලතා ඇති ගුරුවරුන් යොදා ගනිමින් පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් යටතේ සෙසු ගුරුවරුන් සඳහා ආදර්ශ පාඩම් ඉගැන්වීම මඟින් අත්දැකීම් හුවමාරු කරගැනීමෙන් එම ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනයට සහාය විය හැකියි.
තාක්ෂණය භාවිතය
දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ දී තාක්ෂණය භාවිත කිරීම මඟින් පන්ති කාමරය තුළ විසල් පරිවර්තනයක් හා පිබිදීමක් ඇති කළ හැකිය. එහෙත් අවාසනාවට කරුණ වන්නේ අපේ රටේ පාසල්වල ඉගැන්වීම් සඳහා නූතන කාක්ෂණය භාවිත කරනුයේ අතළොස්සක් පමණ වූ ගුරු පිරිසක් පමණි. මේ සඳහා තාක්ෂණය භාවිත කිරීමට ගුරුවරුන් තුළ ඇති නොදැනුම්වත්බව සහ දීර්ඝකාලීනව පුහුණු කරනු ලැබූ සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් මිදීමට ඇති අකැමැත්ත මේ සඳහා ප්‍රභල හේතු වේ.
පන්ති කාමරය තුළ තාක්ෂණය භාවිතයට පෙලඹවීම සඳහා වූ දේශන හා ප්‍රායෝගික වැඩමුළු ක්‍රියාත්මක කිරීමෙන් ගුරුවරයා තුළ ස්වයං පෙලඹවීමක් ඇති කිරීමට කටයුතු කළ හැකියි. ගුරුවරයාගේ වෘත්තිය සංවර්ධනය ශිෂ්‍යයාට පාසලට මෙන්ම රටක සමස්ත අධ්‍යාපන පද්ධතියටම දැඩි ලෙස බලපාන අතර එහි ප්‍රතිඵල හා ප්‍රතිලාභ පිළිබඳ සොයා බැලීම වැදගත්ය. ශිෂ්‍ය සාධනය, ගුරු වෘත්තිය සංවර්ධනයෙහි ප්‍රතිලාභ ඍජුවම ප්‍රදර්ශනය වන්නකි. පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මනා වෘත්තීය සංවර්ධනයක් සහිත ගුරුවරයකු විසින් සිදු කෙරෙන විට සමස්ත සිසුන්ගේ සාධනය ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන පර්යේෂණ බොහෝමයකින් හෙළි වී ඇත.
වෘත්තිය නිපුණත්වය
ශිෂ්‍ය සාධනය ගුරුවරයා ඉගැන්වීම් කාර්යයෙහි නියැළීමට පෙලඹුම්කාරකයක් වන අතරම තමාගේ වෘත්තිය පිළිබඳ තෘප්තිමත් බවක් ඇති කිරීමට ද හේතු වේ. ගුරු පෞරුෂය සිසුන් කෙරෙහි ඍජුවම බලපාන්නක් බැවින් මනා පෞරුෂයකින් සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට ගුරුවරයා සතු නිපුණත්වය අතිශයන් වැදගත් ය. වෘත්තීය නිපුණත්වයෙන් හෙබි ගුරුවරුන් සහිත පාසල් නිරතුරුවම කීර්තිමත්, ඉහළ ප්‍රතිඵල සහිත ජනප්‍රිය පාසල් බවට පත්වේ. නව තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ගුරුවරයා වෘත්තීයව සන්නද්ධ නොවුණහොත් පන්ති කාමරයෙන් ගුරුවරයා ප්‍රතික්ෂේප වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.
