දරුවකු කුස දරා සිටීම කෙතරම් අසීරුදැයි අපි පසුගිය ලිපියකින් පැවසුවෙමු. දරුවකු බිහි කිරීම කෙතරම් අසීරුද? දරුවන් ස්වාභාවිකව බිහි කරන අතර සිසේරියන් සැත්කම් මඟින් ද බිහි කරති. මේ ආකාර දෙකම එක සේ අසීරුය. සිසේරියන් කළ අම්මලාට දරු කැක්කුමක් නැහැ වගේ මෝඩ කතා සමාජගත කරන සියල්ලන්ට එහි අසීරුතා අවබෝධ කරවිය යුතුය.
ස්වාභාවික උපතකින් පසු අම්මලා දරුවන් මහ මඟ දමා යන්නේ ඔවුන් සිසේරියන් සැත්කම් කළ නිසාද? නැත. දරු කැක්කුම නැති නිසාද? නැත. ඒ සමාජයට දරුවෙක් දෙන්නට ඒ අම්මා සූදානම් නැත. එක්කෝ තාත්තා නැත. තනිව දරුවා හදා වඩා ගත නොහැකිය. තවත් සමාජ සංස්කෘතික හේතු බොහොමයකි.
කෙසේ වුවද දරුවකු ස්වාභාවිකව ඉපදීම යනු එකවර ශරීරයේ අස්ථි හතලිස් පහක් පමණ කැඩීමට සමාන යැයි ඇතැම් විද්‍යාඥයෝ ඇස්තමේන්තු කර ඇත. එය දරා ගත නොහැකි වේදනාවකි. වරින් වර ඉහළ යමින්, අඩු වෙමින් පැය 13ක් හෝ එයට අඩු කාලයක් ගැහැනියක මේ වේදනා දරා ගත යුතුය. ගැබ් ගෙල ඇරෙන්නේ මෙසේ සෙමිනි. එය දරා ගත නොහැකි වේදනාවකි. දරුවා ඉපදෙන අවස්ථාවේ යෝනි විවරය අමු අමුවේ කපන වේදනාව පවා නොදැනේ. එසේ නොදැනෙන්නේ ඊට වඩා වේදනාවක් අත්විඳින බැවිනි.
දරුවා පිටතට පැමිණි පසු සැනසීමකි. එහෙත් කපන වේදනාව නොදැනෙන මුත් නැවත මසන වේදනාව දරා ගත නොහැකි තරම්ය. මෙම තුවාල සනීප වීමට සති ගණනක් ගත වේ. ඒ අතරතුර කාලයේ මූත්‍රා පිට කිරීම, මළ පහ කිරීම ආදිය අතිශය වේදනා දනවන ක්‍රියාවලි වේ. තවත් මාසයක් පමණ ලේ ගලා යයි. ඒවාට මාසයක් පුරා සනීපාරක්ෂක තුවා ඇඳ සිටීම දැඩි ආතතිය දනවනසුලුය.
සිසේරියන් සැත්කමකදී ශරීරයේ ස්ථර ගණනාවක් කපා දරුවා පිටතට ගනී. මේ සියල්ල යළි මැහුම් දමා මැසිය යුතුය. බඩේ විශාල තුවාලයකි. ඒ සැත්කමට පෙර ඇගේ කොන්දට විදින හිරිවැටෙන එන්නත් දීර්ඝකාලීනව ඇයට කොන්දේ අමාරු ඇති කරයි. බඩේ ඇති තුවාල සමඟ හැරෙන්නට, නැවෙන්නට බැරිව ඇය දරුවාගේ වැඩ කළ යුතුය. කිරි දිය යුතුය. මෙය කෙතරම් පීඩාවක්ද?
ඇතැම් අයට පශ්චාත් ප්‍රසව සංකූලතා ඇති විය හැකිය. අති විශාල වේදනාවකින් පසු අති විශාල වෙහෙසකින් පසු සහ හෝමෝනමය වෙනස් වීමෙන් ඇය ඇතැම් විට දරුවා ප්‍රතික්ෂේප කරනසුළු මානසික තත්ත්ව ඇති විය හැකිය. එවිට මේ අම්මලාද යනුවෙන් ඇය තවදුරටත් පීඩනයට පත් නොකළ යුතු අතර ඇයට නිසි ශාරීරික මානසික ප්‍රතිකාර ලබා දිය යුතුය.
ඉන්පසු මාස ගණනක් ඇය දරුවා සමඟ නිදිවැරිය යුතුය. දිගින් දිගට සිදුවන රුධිර වහනයන් දරා ගත යුතුය. මේ සියල්ල අධික වෙහෙසකාරීය. මේ අවස්ථාවලදී ඇය රැක බලා ගත යුතු වේ. ආදරය, කරුණාව දැක්විය යුතු වේ.
