Thursday, June 11, 2026
Epaper
Home විශේෂාංගවිෂබීජ පලවා හැර මුළුතැන්ගෙය බබළවමු

විෂබීජ පලවා හැර මුළුතැන්ගෙය බබළවමු

by Shanaka Lakehouse

වර්තමානයේ හඳුනා නොගත් රෝග රැසකට මූලික හේතුව “විෂබීජ”යි. විෂබීජ යනු කුණු, දූවිලි අංශු සහ අහිතකර ක්ෂුද්‍රජීවි යන සියල්ලගේම එකතුවකි.

ඔබ දැන සිටියාද ක්ෂුද්‍රජීවීන් හිතකර මෙන්ම ඔවුන් අපට අහිතකර ලෙස ක්‍රියා කරන අයුරු. ශ්වසන අපහසුතා, ක්ලාන්තය, විඩාබර බව, නිතර නිතර කුඩා දරුවන්ට වමනය, බඩ අමාරු ඇතිවන්නේ ද මේවායේ බලපෑම්වලිනි. බැක්ටීරියා, වයිරස් වැනි ක්ෂුද්‍ර ජිවීන් හොඳින් වර්ධනය වන්නේ තෙතමනය සහිත උපස්ථරවලයි. “මුළුතැන්ගෙය” මෙයට කදිම තෝතැන්නකි.

මුළුතැන්ගෙයි භාවිත කරන ස්පොන්ජ්

දවස පුරාම තෙල් ඉඳුල්, සබන් දියර සමඟින් පවතියි. ජලය සහිත තෙත ස්පොන්ජ් විෂබීජ රාජධානි වේ. යළි යළිත් ඒවායෙන් භාජන සෝදනවිට එම විෂබීජම ඔබ පිසන ආහාර භාජනවල තැවරේ. එම නිසා අපිරිසුදු ස්පොන්ජ් සතියකට වරක් සබන් දියර සහිත නටන උණු වතුර දමා සැකසූ ද්‍රාවණයක විනාඩි 15ක් ගිල්වා තබන්න. ඉන්පසු හොඳින් සෝදා වතුර ඉවත් වන තුරු මිරිකා හොඳින් හිරුඑළිය වැටෙන තැනක වේළෙන්න දමන්න. මාස 3කට වරක් අලුත් ස්පොන්ජ් එකක් මුළුතැන්ගෙට එකතු කරන්න.

Cutting Board (කපන ලෑල්ල)

එළවළු, පලතුරු කපන්න එක ලෑල්ලකුත්, මාළු මස් කපන්න තවත් ලෑල්ලකුත් භාවිත කරන්න. ආහාර කැපූ වහාම කපන ලෑලි සියල්ල හොඳින් සෝදා මඳ පවනේ වියළා ගන්න. කපන ලෑල්ල උඩු අතට තැබීමෙන් වතුර ඉක්මනින් ඉවත් වේ. එය ඔබට ද පහසුවකි. පුස් නොබැඳේ.

අත්පිස්නා

මුළුතැන්ගෙයි භාවිතයට ගන්නා අත්පිස්නා දිනපතාම දවස අවසානයට සබන් යොදා හොඳින් සෝදා හිරුඑළියේ වියළෙන්නට ඉඩ හරින්න. එය විෂබීජ විනාශ වීමට හොඳ අවස්ථාවකි. අත් පිස්නා කිහිපයක් තබා ගන්න. එකක් වියළෙන තුරු තවත් එකක් භාවිත කිරීමට පුළුවනි. දැළි ඉඳුල් සහිත අත්පිස්නා ඔබේ අපිරිසුදුබව අන් අයට පෙන්වයි. ඒවා භාවිතයෙන් ඉවත් කරන්න. එමඟින් සෞඛ්‍යාරක්ෂිත භාවය ද වැඩිවේ.

පිහි සහ මෙවලම් (Cutting Tools)

එළවළු, පලතුරු කපන පිහි සහ මස් මාළු කපන පිහි වෙනම තබා ගැනීම යෝග්‍යයි. පාන්, කේක්, බනිස් වැනි ආහාර කැපීමට වෙනත් කුඩා පිහියක් තබා ගැනීම සුදුසුය.

තෙත පිහි භාවිත නොකළ යුතුයි. සැමන් ආදී ටින් කපන කටර් කැපූ පසු හොඳින් සෝදා වියළා තැබිය යුතුයි. පිහි, කටර් ආදිය උල් සහිත තියුණු උපකරණ බැවින් කුඩා දරුවන්ගේ අතට හසුනොවන්නට තබන්නට ඔබ වගබලා ගන්න.

එමෙන්ම මුළුතැන්ගෙයි පිහියෙන් සබන් කැපීම, වයර්, ප්ලාස්ටික් බෝතල් කැපීම නොකළ යුතුයි. ඒ සඳහා වෙනත් භාවිත නොවන පිහියක් හෝ උපකරණයක් තබා ගත යුතුයි. නැත්නම් පිහිතල කෙතරම් පිරිසුදු කළත් රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ තැවරී තිබීමෙන් පලතුරු වැනි පිසීමකින් තොරව ආහාර ගැනීමේදී හා දෙහි වැනි අම්ල සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ශරීරයට කෙළින්ම ඇතුළු වේ. එවැනි අනාරක්ෂිත දේවල් සිදුනොකරන්න ඔබ ගෘහිණියක් ලෙස දැනුවත් වන්න.

වම්බටු මෝජු, චට්නි, සීනි සම්බෝල සහ ලුණු දෙහි වැනි ආහාර කල්තබා ගනිමින් ආහාරයට ගැනීමේදී තෙත හැඳි හෝ වතුර පිටින් එම බෝතල් විවෘත නොකරන්න. මන්ද තෙතමනය රැඳුණහොත් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය සීග්‍ර වී ආහාර නරක් වීමට පුළුවනි.

පොල් කටු හැඳි

ආහාර පිසීමට පොල් කටු හැඳි භාවිතයට හුරු වන්න. ආහාරවල ඇති පෝෂ්‍ය ගුණය සහ රසකාරකවලින් ලෝහ හැඳිවලට බලපෑම් වෙන්න පුළුවනි. ඔබ භාවිත කරන පොල් කටු හැඳි සතියකට වරක් නටන උණු වතුර තුළ ගිල්වා තැබිය යුතුයි. එමඟින් විෂබීජ හා පුස් වැනි තත්ත්ව මඟහරවා ගත හැකිය.

මේ දේවල් පිළිපැදීමෙන් ඔබත් විෂබීජවලින් තොර මුළුතැන්ගෙයක හිමිකාරියක් වන්න.

 

TEXT – රෝචණී බණ්ඩාර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?