දිනෙන් දින ඉහළ යන අනතුරු හේතුවෙන් අකාලයේ අහිමි වන ජීවිත පිළිබඳ ඛේදවාචකය අප රටේ දෛනික යථාර්ථය වී ඇත. නොසැලකිලිමත් රිය ධාවනය, අපරාධ, රිය අනතුරු, ගැටුම් සහ සියදිවි නසා ගැනීම් වැනි මිනිසා විසින් ඇති කරගත් විපත් මෙන්ම ස්වාභාවික ආපදා හේතුවෙන් ද අපට වටිනා ජීවිත අහිමි වේ. මේ හේතුවෙන් බොහෝමයක් අහිමි වන්නේ රටට සම්පතක් වූ තරුණ ජීවිත වීම මහත් ඛේදයකි. මෑතකදී පහළ කඩුගන්නාවේදී සිදුවූ හද කම්පා කරවන නාය යෑමේ ඛේදවාචකය මේ අනතුරුවලින් මිදීමේ හැකියාව පිළිබඳ අප යළි සිතීමට පෙලඹවිය යුතුය.
බොහෝ අනතුරු දෙස බලන විට ඒවා නොසැලකිල්ල, නොදැනුවත්කම හෝ නීතියට පටහැනිව කටයුතු කිරීමේ ප්‍රතිඵල බව පැහැදිලිය. විශේෂයෙන්ම නායයෑම් වැනි ස්වභාවික විපත් හා බැඳුණු අතීත සිදුවීම් විමසීමේදී බොහෝ විට අනීතිකව, ප්‍රමිතියෙන් තොරව ඉදි කරන ලද නිවාස හෝ ගොඩනැඟිලි ඒ සඳහා මූලික හේතු වී ඇති බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ. මෙවැනි අවදානම් ඉදිකිරීම් කෙසේ සිදු වූයේ ද යන්න මෙහිදී පැන නඟින ප්‍රධාන ගැටලුවයි. සාමාන්‍ය වැසියකු නිෙවසක් ඉදි කිරීමේදී සැලැස්ම අනුමත කරගත යුතු ස්ථාන ගණන හා ක්‍රියාවලිය දෙස බලන විට, මේවා පිටුපස ‘යටින් යන ගනුදෙනු’ වල ප්‍රතිඵල තිබිය හැකි යැයි සිතීම සාධාරණය.
මෙවැනි අනතුරු වැළැක්වීමෙහිලා රාජ්‍ය අංශයේ වගකීම දැඩිව අවධාරණය විය යුතුය. රාජ්‍ය නිලධාරීන් විසින් තම රාජකාරිය නිසි පරිදි ඉටු කර තිබේ ද යන්න විමසිය යුතුමයි. මෙවැනි සිදුවීම ප්‍රදේශයේ සේවය කරන ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ ග්‍රාම සංවර්ධන නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙවැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ කල්තියා දැන සිටියා නම් ඔවුන් අදාළ උසස් නිලධාරින් දැනුම්වත් කර වැළැක්වීමේ පියවර ගැනීමට කටයුතු කළ යුතුව තිබුණි. එය ඔවුන්ගේ වගකීමක් නෙවේද?
තවද ආපදා කළමනාකරණය පිළිබඳ සොයා බලන ආයතන වැනි රජයේ වගකීම් සහිත ආයතන, නාය යෑම් සහ ගංවතුර වැනි අවදානම් කලාප පිළිබඳ මීට වඩා ගැඹුරින් සොයා බලා, පෙර දැනුම්දීම් සහ වැළැක්වීමේ වැඩසටහන් වඩාත් ශක්තිමත් කළ යුතුය. ඒ අතරම ජනතාව ද තමුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් යුතුව සිතා බැලිය යුතු අතර, නොදන්නා අවදානම් ප්‍රදේශවල අනවශ්‍ය සංචාරවලින් වැළකී සිටීම තමුන්ගේ වගකීමකි. එසේම පටු ආර්ථික වාසි ගැන පමණක් සිතා නීති විරෝධී ඉදිකිරීම්වලින් වැළකී සිටීමටත් වගබලා ගත යුතුය. මෙලෙසින් අකාලයේ අහිමි වන ජීවිත ගණන අඩු කිරීම සඳහා රාජ්‍ය අංශය සහ පුරවැසියන් යන දෙපාර්ශ්වයම නොපමාව තම වගකීම් හඳුනාගෙන ක්‍රියා කළ යුතුය.
