රුසියානු මහා ගත් කතුවර ඇන්ටන් චෙකොව්ගේ 166 වැනි උපන් දිනය සහ එදා චෙකොව් සන්ධ්‍යාව වේදිකා නාට්‍යය ප්‍රතිනිර්මාණය කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88 වැනි උපන්දිනය නිමිති කරගෙන චෙකොව් සන්ධ්‍යාව සන්නිවේදනාත්මක රංග අධ්‍යයනය නව නිෂ්පාදනයක් ලෙස ජනවාරි 29 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී වේදිකාගත වීමට නියමිතය. එදින සවස 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර 2ක් ප්‍රදර්ශනය කිරීමට ද මෙහි සංවිධාන කමිටුව සැලසුම් කර තිබේ. මේ ඒ පිළිබඳව සුනන්ද මහේන්ද්‍ර මහතාගේ බාල පුත් සචිත්‍ර මහේන්ද්‍ර අප සමඟ දැක්වූ අදහස්..
චෙකොව් සන්ධ්‍යාව ගැන කෙටියෙන් අදහසක් පළ කළොත්..
චෙකොව් සන්ධ්‍යාව මුලින්ම වේදිකාගත වෙන්නේ 1991 වසරේදී. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයාණෝ රුසියන් නාට්‍යයක් වූ මේ නාට්‍යය ප්‍රතිනිර්මාණය කළේ ජාතික තරුණ සේවා සභාවේ රංග පාසලේ පළමු වසර නිමා කරමින් ටවර් හෝල් රංග පදනමේ උසස් පාඨමාලාව හැදැරූ සිසුසිසුවියන්ට රංග අභ්‍යාසයක් ලෙසයි. කරුණාරත්න අමරසිංහ හැරුණාම එදා එහි රඟපෑ සියලු දෙනා එම පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යයන්. ආචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ වැඩිමහල් පුත් රවිඳු මහේන්ද්‍රත් එදවස මෙහි රංගනයෙන් දායක වුණා. ඉතින් වසර 31කට පස්සේ මෙහි නව නිෂ්පාදනය සිදු කරන්නෙත් රවිඳු මහේන්ද්‍ර වීම විශේෂත්වයක්.
ඇන්ටන් චෙකොව් සිය රංග කළමනාකරු සමඟ ඇති වන සංවාදයක් පදනම් කරගෙන මෙම නාට්‍යය ගොඩනැඟෙනවා. රංග කළමනාකරුවෙක් කියන්නේ නාට්‍යයකින් ලාභයක් උපයන පුද්ගලයා වෙද්දී නාට්‍යකරු කියන්නේ නාට්‍යය හරහා සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන පුද්ගලයායි. ඉතින් මේ දෙන්නා අතර සිදුවන සංවාදය අතර කෙටි නාට්‍ය පහක් මෙහිදී වේදිකාගත වෙනවා. “ද ප්‍රොපෝසල්” නම් ඇන්ටන් චෙකොව්ගේ ප්‍රසිද්ධ නාට්‍යයක් මෙහිදී ‘දායාදය’ නමින් රංගගත වන බව කිව යුතුයි. එය අතීතයේ පාසල් පෙළපොත්වල පවා ‘මඟුල් ප්‍රස්තාව’ නමින් පාසල් සිසුසිසුවියන් විසින් හැදෑරූ නාට්‍යයක්. ඉතින් දායාදයට අමතරව දුම්කොළ, කුරිරු විහිළුවක්, හංස ගීතය සහ ගමේ ගිම්හානය නමින් කෙටි නාට්‍ය 5ක් චෙකොව් සන්ධ්‍යාව නාට්‍යයේදී වේදිකාගත වෙනවා.
නව නිෂ්පාදනයේදී සිදු වන වෙනස්කම් මොනවාද?
ඇත්තටම එදා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිෂ්පාදනය කළ මේ නාට්‍ය නව නිෂ්පාදනයේදී වේදිකාගත වෙන්නේ යම් යම් වෙනස්කම් සහිතව. එදා “දායාදය” නාට්‍යය සුනන්ද මහේන්ද්‍රයාණෝ නිෂ්පාදනය කළේ ඇලෙක්ස් ගුණසේකර මහතාගේ අනුවාදයක් අනුවයි. එහෙත් නව නිෂ්පාදනයේදී මෙහි අනුවාදය සිදු කර තිබෙන්නේ රවිඳු මහේන්ද්‍ර. ඒ වගේම එදා මෙහි වේෂ නිරූපණය සිදු කළ ජගත් පද්මසිරි නව නිෂ්පාදනයේ ද එම කාර්යය සිදු කරනවා.
එදා චෙකොව් සන්ධ්‍යාවේ රංගනයෙන් දායක වූ තිදෙනෙක් අද වන විට අප අතරින් වියෝවෙලා. නලීන් ප්‍රදීප් උඩවෙල, සුනන්ද උපුල් ශාන්ත සහ ශාස්ත්‍රි මල්ලවආරච්චි අද අප අතර නෑ. එදා චෙකොව් සහ පියදෝර් කෝච් හෙවත් රංග කළමනාකරු චරිත රඟපෑවේ ශාස්ත්‍රි මල්ලවආරච්චි සහ කරුණාරත්න අමරසිංහයි. ඉතින් අද ඒ චරිතවලට පණ පොවන්නේ රවිඳු මහේන්ද්‍ර සහ ප්‍රසන්නජිත් අබේසූරිය. ‘දුම්කොළ’ නාට්‍යයේ එදා රඟපෑ වසන්ත මොරගොඩ අදත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ‘කුරිරු විහිළුවක්’ නාට්‍යයේ එදා රංගනයෙන් දායක වූ සෙනෙවිරත්න රොද්‍රිගූ අදත් එලෙසින්ම රංග දායකත්වය දෙද්දී එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මිථිලා චමරි වෙනුවට අද රඟපාන්නේ ජයනි සරච්චන්ද්‍රයි.
‘හංස ගීතය’ නාට්‍යයට එදා රංගනයෙන් දායක වුණු නලීන් ප්‍රදීප් උඩවෙලගේ අඩුව පුරවන්නේ ඉන්දික ජයසිංහ. ‘මඟුල් ප්‍රස්තාව’ නාට්‍යයට සුනන්ද උපුල් ශාන්ත, නුවන් සමරපති සහ සරත් කුමාර පෙරේරා රංගනයෙන් දායක වුණා. එහෙත් අද වන විට සුනන්ද උපුල් ශාන්ත අප අතර නෑ. සරත් කුමාර පෙරේරා සහ නුවන් සමරපතිත් නව නිෂ්පාදනයට දායක වන්නේ නෑ. එදා මෙහි නුවන් සමරපති නිරූපණය කළේ කාන්තා චරිතයක්. ඉතින් ඒ කාන්තා චරිතය අද රඟ දක්වන්නේ ජයනි සරච්චන්ද්‍ර. එහි තාත්තාගේ චරිතය ප්‍රසන්නජිත් අබේසූරිය රඟ දක්වද්දී බෑනාගේ චරිතයට පණ පොවන්නේ ඉන්දික ජයසිංහ.
එදා චෙකොව් සන්ධ්‍යාව ගැන ඔබේ මතකය අවදි කළොත්..
එදා චෙකොව් සන්ධ්‍යාවේ මුල් නිෂ්පාදනය වේදිකාගත වුණේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේයි. ඇත්තටම අපේ තාත්තා සොක්‍රටීස් නාට්‍යය වේදිකාගත කළේත් ඒ කාලයේමයි. ඇත්තටම සොක්‍රටීස් කියන්නේ සංකීර්ණ නාට්‍යයක්. රංග කලාවේ පවතින මූලධර්ම සියල්ලක්ම පාහේ එහි භාවිත කළා. එහෙත් චෙකොව් සන්ධ්‍යාව ඊට වඩා සැහැල්ලුවෙන් නිෂ්පාදනය කළ සරල නාට්‍යයක්. එහි පරිකල්පනය ඉතා ඉහළයි. ඇත්තටම චෙකොව්ගේ නාට්‍ය 5ක් පෙන්වනවාට වඩා චෙකොව් සහ රංග කළමනාකරු අතර සංවාදයක් ගොඩනඟමින් ඒ අතරතුර මේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම විශිෂ්ට පරිකල්පනයක් ලෙස මා දකිනවා. ඒ වගේම මෙම නාට්‍යයට ගොඩක් භාණ්ඩ භාවිත කර නෑ. සොක්‍රටීස් නාට්‍යයේදී ලොරියක් පුරවලා භාණ්ඩ අරගෙන ගියත් චෙකොච් සන්ධ්‍යාවේදී භාවිත කරන්නේ ඉතා සුළු භාණ්ඩ සංඛ්‍යාවක්. ඉතින් මේ නාට්‍යය ඉතා සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් නැරඹිය හැකි නාට්‍ය පෙළකින් සමන්විත නාට්‍යයක් ලෙස පෙන්වා දිය හැකියි.
මං ඒ කාලේ ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ පන්තියේ. ඉතින් අපට සාමාන්‍ය පෙළ සාහිත්‍ය විෂයේදී ‘මඟුල් ප්‍රස්තාව’ නාට්‍ය ඉගෙන ගන්නට තිබුණා. මේ අතර වාර විභාගයකදී මට මාර වැඩක් වුණා. මං තාත්තාගේ නාට්‍යය බලලා තිබුණු නිසා පෙළපොතේ තිබුණු නාට්‍යය කියෙවුවේ නෑ. අපේ තාත්තා නිර්මාණය කළ නාට්‍යය පටන් ගන්නේ පත්තරයක් කියවන දර්ශනයකින්. එය මුල් නාට්‍යයේ නොතිබූ දර්ශනයක්. ඉතින් මම වාර විභාගයට ලිවුවේ තාත්තාගේ නාට්‍යයේ තිබුණු දර්ශන හිතේ තබාගෙනයි. එදා පිළිතුරු පත්‍ර පරීක්ෂාවේදී ගුරුතුමිය මගේ පිළිතුර රතු පෑනෙන් රවුම් කරලා තිබුණු සිදුවීම මට අමතක වන්නේ නෑ..
නව නිෂ්පාදනය කාගේ අදහසක්ද?
තාත්තාගේ නාට්‍ය අලුතින් නිෂ්පාදනය කරන්නැයි ඔහු අපට නිතරම කියනවා. අයියා වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ යුක්රේනයේ. ඉතින් ඔහු එහිදී රුසියන් භාෂාව හැදෑරුවා. ඒත් සමඟ ඔහුට චෙකොව් චරිතය සහ රුසියාව සමඟ සබැඳියාවක් පැවතුණා. මේ නාට්‍යයෙන් ඔහු කරළියට ආවේ ඒ ආභාසයෙන්.
රුසියන් නාට්‍ය සංස්කෘතිය සහ අපේ නාට්‍ය සංස්කෘතිය අතර වෙනස්කම් තිබෙනවා. ඒ නිසා මුල් කෘතිය සහ සිංහල අනුවාදය අතර වෙනස්කම් තිබෙනවාද?
මේ කාරණය මේ නාට්‍යයේදීත් චෙකොව් සිය රංග කළමනාකරු සමඟ සාකච්ඡා කරනවා. ඇත්තටම රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට නාට්‍යයක පසුබිම, ඇඳුම් පැලඳුම් වෙනස් විය හැකියි. එහෙත් ලෝකයේ කොතැනක වුණත් මානුෂීය හැඟීම්වල සමානකම් තිබෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය ආදී සිතිවිලි හැම රටකම මිනිසුන්ට පොදු වූ ලක්ෂණ. මඟුල් ප්‍රස්තාව නාට්‍යයේ තිබෙන්නේ වංසය කබල් ගානවා වගේ කතාන්දරයක්. එය ලංකාවටත් පොදුයි. ඉන්දියාවටත් පොදුයි. ඉතින් එය රුසියාවටත් පොදුයි. ඉතින් ඇඳුම් පැලැඳුම්, පසුබිම වෙනස් වුණාට නාට්‍යයකින් නිරූපිත මානුෂීය හැඟීම් වෙනස් වෙන්නේ නෑ. මේ නාට්‍යයටත් එය පොදු සංකල්පයක්.
ඇත්තටම එදාට වඩා අද වේදිකා නාට්‍යයට තිබෙන රසික ඇල්ම සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා. ඒ ගැන දරන අදහස?
ඇත්තටම එදා සොක්‍රටීස් වගේම චෙකොව් සන්ධ්‍යාව නරඹන්නට ප්‍රේක්ෂකයෝ හිටියා. එදා ඒ නාට්‍ය රට වටේම දිවුවා. එහෙත් අද නාට්‍ය පාසල් පෙළපොතේ තිබුණොත් හෝ ප්‍රහසන නාට්‍යයක් වුණොත් පමණක් ඊට ජනාකර්ෂණය වැඩි වීමක් පෙන්නුම් කරනවා. එහෙත් අපේ තාත්තාගේ නාට්‍ය නිර්මාණ ව්‍යූහයේ ප්‍රහසන නාට්‍ය නිර්මාණය වන්නේ නෑ. නාට්‍යයකින් මුදල් ඉපැයීමක් සිදු විය යුතු වුවත් එය ආනන්දයෙන් ප්‍රඥාවට යන නාට්‍යයක් ද විය යුතුයි. ඉතින් ඇත්තටම එදාට වඩා අද ප්‍රේක්ෂකයන් නාට්‍යයට ඇදබැඳ ගැනීම අභියෝගයක්. එහෙත් මේ නාට්‍යයේ විශේෂත්වය වන්නේ එක නාට්‍යයකින් කෙටි නාට්‍ය පහක් එක්වර නැරඹීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වීමයි. ඒ නාට්‍ය සියල්ලම රුසියානු නාට්‍ය කලාවේ විශිෂ්ට නාට්‍ය. ඉතින් මෙය ප්‍රේක්ෂකයන්ට හිමිවන අනගි අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඒ වගේම එදින සුනන්ද මහේන්ද්‍රයන් විසින් රචිත චෙකොව් සන්ධ්‍යාව කෘතියේ නව මුද්‍රණය ද සරසවි ප්‍රකාශනයක් ලෙස මෙහිදී දොරට වැඩීමට නියමිතයි. එයද මීට වසර 33කට ඉහත චෙකෝව් සන්ධ්‍යාව පළමු දර්ශන තලයේ දොරට වැඩි කෘතියක්.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
