වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පෙර පාසල් අරන් යන්න
දුවෙක් වුණත් පුතෙක් වුණත් පොඩි කාලේ ටෙඩි බෙයාර් කෙනෙක් ළඟ තියාගන්න ආසයි. ගමන් බිමන් යනකොට අතේ තියාගෙන තුරුළු කරගෙන යන්නෙ හරිම ආදරයෙන්. තරුණ වියට පත් වුණා කියලත් මේක ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. තරුණ දියණියන් තවමත් ටෙඩි බෙයාර් තමන්ගෙ තනි නොතනියට ළඟින් තියා ගන්නවා. ඉතිං ටෙඩි බෙයාර් කාලයේ තාලයට මැවෙන විලාසිතාවක් වෙලා. ඒ නිසාම පුංචි දුව ගෙ පුතා ගෙ පෙර පාසල් බෑගයට, අමතර පන්ති ගෙන යන බෑගයට ටෙඩි බෙයාර් නිර්මාණ එකතු වී ඇත්තේ. මේ එලෙසින් නිර්මාණය කළ අගනා පෙර පාසල් බෑගයකි.
අවශ්‍ය ද්‍රව්‍ය
ෆෙල්ට් රෙදි හෝ බෝවා රෙදි
මීටර් 1/2
(රෝස,සුදු)
පැඩිං
ලයිනින් සඳහා අවශ්‍ය රෙදි
වෙළෙඳපොළෙන් මිලදී ගත් ඇස්,
නාසය
හැඬල් පටි මීටර් 2ක්
නොම්මර 5 සිපර් යාර 1/2ක්
බකල් 2ක්
වර්ණ කිහිපයක පාට
රෙදි පටි කීපයක්
නිර්මාණය කර ගැනීම
මුලින්ම අප ඔබට ලබා දී ඇති අංක 1 සිට 10 දක්වා පතරොම් කොටස් කාඩ්බෝඩ්වල ඇඳගන්න. ඉන්පසුව එම පතරොම් ආධාර කරගෙන සියලුම කොටස් රෙදිවල කණපිට පැත්ත හරවා කපා ගන්න. පතරොම්වල ඩාර්ට් මසන්න. කණ කොටස් හතර කොටස් දෙකක් වන ලෙස මසා හොඳ පිට හරවා ගන්න. රෝස සහ සුදු පැහැ වර්ණ දෙකෙන් එය සකසා ගන්න. 1 කොටසින් රෙදි කොටස් දෙකක් කපා ගන්න. 9 වැනි රූපයෙන් රෙදි කොටස් දෙකක් ඉදිරිපස කකුල ලෙස කපා ගන්න. අංක 01 ඇඟ පිටුපස ED හා අංක 9 ඉදිරිපස කකුල ED එක මත තබා කණපිට පැත්තෙන් මසන්න. අංක 01 සිට 09 කොටසේ FG අතරට අංක 5 කකුලේ අඩිය අල්ලන්න. අංක 8 ඇඟ ඉදිරිපස කොටස් දෙක පාට දෙකකින් කපා ගත යුතුය. තිත් ඉරිවලින් දක්වා ඇති කවාකාර කොටස් 2ක් සුදු පාටින් කපාගන්න. කවාකාර කොටස සහ ඇඟ ඉදිරිපස ඉතිරි කොටස එනම් x හා y ලෙස කොටස් 2 බැගින් කපා එකට මූට්ටු කරගන්න. දැන් අපට සම්පූර්ණ ඇඟ ඉදිරිපස කොටස් දෙකක් ලැබී ඇත. එම කොටස් දෙක එකට තබා HJ එකට මූට්ටු කරන්න. ඡායාරූපයේ පරිදි ඉදිරිපස කොටසේ බඩ මැද වර්ණ කිහිපයක රෙදි පටි අල්ලා අලංකාර කරගන්න. 1 කොටසේ දෙක ඩාර්ට් මසා අවශ්‍ය ප්‍රමාණයට සිපර් එක ඇල්ලීමට ඉඩ තබා එකට මූට්ටු කරන්න. අංක 1 සහ 8 කොටස්වල AB, CD එකට තබා මසා ගන්න. අංක 3 අත කොටස් හතරක් කපා අත් දෙක සකස් කරගන්න. වටේ මසා ගෙන අත් කොටස BC ට තබා මසා ගන්න.
අංක 2 හොම්බ කොටස ඩාර්ට් මසන්න. පාට 2කින් කන කොටස් 4 කපා ගත් කන් 2 සකස් කරගන්න. එය තිත් ඉරි ලෙස පෙන්වා ඇති මුහුණ දෙපස කොටස් 2 අල්ලා ගන්න. අංශක 6 සහ 7 මුහුණ ඉදිරිපස කොටස් 1ට දෙපස කොටස් 2 අල්ලන්න. හිස පිටුපස කොටස අංක 10 කොටස් 2ක් කපා එකට මූට්ටු කර ඉදිරිපස මුහුණ කොටස වටේට අල්ලන්න. මුහුණේ මැද සිදුරට හොම්බ කොටස අංක 2 තබා මසා ගන්න. හොම්බ ඇල්ලීමට පෙර JK එකට තබා මසා ගත යුතුය.
ටෙඩි බෙයාර් පිටුපස විවරයෙන් හොඳ පිට හරවා ගන්න. පළමුව හිසට පමණක් පැඩිං පුරවා ගන්න. වෙළෙඳපොළෙන් මිලදී ගත් පැඩිං හා හොම්බ මුහුණේ සිදුරු සාදා අල්ලා ගන්න. හිසට පමණක් පැඩිං පුරවා එම වට ප්‍රමාණයට ලයිනින් රෙදි කැබැල්ලක් තබා වටේ මසන්න. අත් සහ කකුල් පමණක් පැඩිං පුරවන්න. එම තැන්වලට ලයිනින් රෙදි රවුම් තබා වටේ මසන්න. දැන් බඩ කොටස හිස්ව ඇත. ලයිනින් රෙදිවලින් එම බඩේ ප්‍රමාණයට රෙදි කොටස් 2ක් කපා කොට්ට උරයේ ලෙස වටේ මසන්න. විවරයට සිපර් එක අල්ලන්න. එම කවරය ටෙඩි බෙයාගේ බඩ ඇතුළට රිංගවා පිටුපස විවරයට ලැබෙන පරිදි අතේ මසන්න. දැන් ලොක් දමා හැඩ්ල් පටි 2ක් සකස් කර හිස මුදුනේ සිට පහළට අල්ලා ගන්න. රූප සටහන් බැලීමෙන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී ඉරේෂා අබේකෝන්