වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පවට බිය විය යුතුය සැම දන එයයි යහපත් ලොවක පදනම
පසුගිය සති කිහිපය තුළ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් මුදවා ගැනීම සහ මත්ද්‍රව්‍ය සඳහා දරුවන් ඇබ්බැහි නොවීමට ගත යුතු පියවර පිළිබඳ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඒ වෙනුවෙන් පාසල් තුළ ජනවාරි 21 සිට 25 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් නම් කරන්නට යෙදුණු බවත් ඔබට මතක ඇති. සැබැවින්ම දේශප්‍රේමී රාජ්‍ය නායකයන්, උගතුන්, බුද්ධිමතුන් මේ උවදුරින් රට බේරාගැනීම සඳහා මෙතරම්ම අවධානයක් යොමු කරන්නේ ඇයි?
එයට ප්‍රධාන හේතුව වන්නේ මත් රකුසා බිලිගන්නට මාන බලන්නේ අපගේ දරු පැටවුන්ගේ ජීවිත නිසාය. මත්ද්‍රව්‍ය වෙළෙන්ඳා මේ අහිමි කරන්නේ අප රටේ මිණිමුතුවන් අගනා දරු සම්පත්ය. රටේ අනාගතයේ සුන්දර සිහින ගොන්නය. එබැවින් වෙන කවරදාකටත් වඩා අපේ දරු පැටවු ටික රැකගන්නට මවුපියන්, ගුරුවරුන් වෙහෙස විය යුතුය. අපේ දරුවන් රජය රැකදෙනතතුªරු හෝ වෙනත් බලවේග රැකදෙනතුරු ඔවුන්ට බාර නොකර අපේ කාර්යභාරය අපි, අපගේ කරමතට ගෙන වෙනදාට වඩා දරුවන්ට සමීප වෙමු. දරුවන්ට දැනෙන ලෙස ආදරය කරමු. අප එසේ කළයුතු වන්නේ දරුවන් වැරැදි මඟට යොමු වූ පසු ඉන් මුදවා ගැනීම හිතන තරම් පහසු නොවන බැවිනි.
එසේ වූ කල රජයන්ට, දේශපාලකයන්ට බැණ වදිමින්, දොස් පවරමින්, සාපදීමෙන් ඵලක් නැත. දරුවන්ට නියම මඟ පෙන්වා දෙමින් හොඳ දරුවෙක්, අවිහිංසක දරුවෙක්, යහපත් දරුවෙක් රටට ණයක් නොවන දරුවෙක්, වැඩිහිටියන්ට, මවුපියන්ට දෙගුරුන්ට සලකන, රටට ආදරය කරන ආදරණීය දරුවකු නිර්මාණය කිරීමට අපි උත්සාහ කරමු.
එය අපේ ජාතික වගකීමක් නොවේද? අද දවසේ සෑම අම්මා කෙනකුම, සෑම පියකුම, සෑම ගුරුවරයකුගේම සිත තුළ ඒ හැඟීම තදින්ම කා වැදී තිබිය යුතුය.
මගේ දරුවා ගැන පමණක් හිතන මවුපියන් නොව අපේ දරුවන් ලෙස සෑම දරුවකු ගැනම හිතන වැඩිහිටි පරපුරක් මේ රටේ බිහි වුවහොත් අපට මෙවැනි උවදුරු පිළිබඳ බියෙන් සැකෙන් ජීවත්වන්නට සිදු වන්නේ නැත. ජීවිත බිලිගන්නා විවිධ ආකාරයේ මත් කුඩු, මත් ද්‍රව්‍ය මේ රටට ගෙන්වන්නේ, බෙදා හරින්නේ, ව්‍යාප්ත කරන්නේ මවු කුසකින් මෙලොව එළිය දුටු දෙපා සත්ත්වයන් මිස සිවුපා, සත්ත්වයන් නොවීම මෙහි ඇති බරපතළම ඛේදවාචකයයි.
තිරිසන් සතකු තවත් සතකු ගොදුරු කරගැනීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් හොඳ නරක හිතන්නට මොළයක් ඇති කවර මනුෂ්‍යයකුට වුව මෙවැනි විනාශකාරී පාපතර ක්‍රියාවල යෙදීමෙන් සැනසීමක් ලැබිය හැකිද? මත්ද්‍රව්‍ය වෙළෙන්ඳනි, ඔබටත් දරුවෝ සිටිනවා විය හැකියි.
ඔබ ඔබේ අඹුදරුවන්ට සැප සම්පත්වලින් ආඪ්‍ය ජීවිතයක් ලබා දෙන්නේ සිය දහස් ගණන් මවුපියන්ගේ හදවත් දවා හළු කර දමමින් නොවේද? ඔබ ඔබේ දරුවන්ට ආදරේ තරමට ඇයි අනෙකාගේ දරුවන් ගැන සිතිය නොහැක්කේ? ඔබේ දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුවහොත් ඔබට දැනෙන වේදනාව අනෙක් මවුපියන්ටත් එසේම දැනෙනු ඇත. එබැවින් ඔබත් අම්මා, තාත්තා කෙනකු ලෙස සමාජයේ වගකිවයුතු වැඩිහිටියන් ලෙස සිතා මේ රටේ හැම දරුවකුම රැකගන්නට එක්වන්න.
දරුවන්ගේ ජීවිත විනාශ කරමින් කරන කිසිදු ව්‍යාපාරයකින් උපයන මුදලින් ලබන සැපයෙන්, සැනසීමක් ලබන්නට බැරිය. “අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නාක් මෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නියැළෙන කවර හෝ පුද්ගලයකු අනුනට ගින්දර ලබාදීමෙන් ඔවුන් ද ගිනිබත් වනු නොඅනුමානයි.
මත්ද්‍රව්‍ය සඳහා පෙළඹවීම නිසා මහත් සේ පීඩා විඳින්නේ කාන්තාවන්ය. දරුවෝ මත්පැනට, මත්කුඩට යොමු වුවහොත් මවුවරුන්ට කිසිදා සැනසීමක් නැත. සැමියන් කුඩු බොන්නේ නම් බිරියන්ට ජිවිතයක් නැත. එවැනි බිරින්දෑවරු, සැමියන්ගේ අඩත්තේට්ටම් මැද මැරෙන්නට බැරිකමට ජීවත් වෙති. පියා මතට ඇබ්බැහි වූ පවුල්වල දරුවන්ගේ අනාගතයට දෙවියන්ගේම පිහිට පමණි.
එවැනි පවුල්වල දරුවන්ට දරුවෝ ලෙස ජීවත් වීමේ හිමිකම පවා පියවරු අහිමි කරයි. ඉගෙනගැනීම සිහිනයක් පමණි. මතට ඇබ්බැහි වූවෝ සියතින් තමාගේ බෙල්ල කපාගත්තා සේම දරුවන්ගේ ජිවිතය ද වක්‍රව මරා දමති.
දරුවන්, අඹුවන් ගැන නොහිතන එවැනි පියවරුන්ගෙන් සමාජයට සෙතක් වේද? ඔබට එය අප අමුතුවෙන් කිව යුතුද? සිහි විකල් මනසින් හෙබි එවැනි පිරිස් සමාජයේ බහුල වූ විට අනර්ථකාරී විපත් කරදර එන්න එන්නටම වැඩි වීම අහන්නටත් දෙයක්ද? මතින් සිහිවිකල් වූ සීයාට, මිත්තණිය පෙනෙන්නේ නැත. ස්ත්‍රී දූෂණ, අපචාර, ළමා හිංසන, සොර සතුරු විපත්වලින් එවිට අඩුවක් නැත. මේ විනාශවන්නේ අපගේ සාරධර්ම නොවේ ද?
එදා සමාජය සමඟ සන්සන්දනය කරනවිට අද අපගේ දරුවෝ ජීවත් වන්නේ අවශ්‍යතා බහුල දුරාචාර විෂමාචාරවලින් පිරුණු වටපිටාවක ය.
යහපතට වඩා දකින්නට ඇත්තේ අයහපත් දෑය. ගුණ දේට වඩා කන්නට බොන්නට ඇත්තේ අගුණ දෑය. ගුණගරුක පුද්ගලයන්ට වඩා ඇත්තේ කපටි, කෛරාටික, ආත්මාර්ථකාමී තමාගේ සැපය, සතුට, වත්කම ගැනම හිතන අනුන් නසන්නට ගිනි දෙන්නට මාන බලන පිරිස් ය.
එබැවින් අපගේ ආදරණීය අම්මාට, තාත්තාට දරුවෝ හදා ගැනීමට සහ රැකබලා ගැනීම පිළිබඳ ඕනෑවටත් වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම රැකියාවට යන මවුවරු තමන්ගේ දෑස මානයෙන් නොයන ලෙස දරුවාට සමීපවීමට සිහි තබාගත යුතුය. මව තරමටම පියාද දරුවන්ට සමීප විය යුතුය.
බොහෝ පවුල්වල දරුවෝ කතා කරන්නේ, ආගිය විස්තර පවසන්නේ අම්මා සමඟය. නමුත් පියා දරුවා තමන්ට ළංකර ගන්නට උපක්‍රමශීලී විය යුතුයි.
බොහෝ පවුල්වල දරුවන්ගේ ඉගෙනීම ගැන හොයා බලන්නේ, පාසලට, අමතර පන්තියට, දහම් පාසලට රැගෙන යන්නේ අම්මාවරුය. පියවරු හිතන්නේ එය තමාට පැවරී නොමැති කටයුත්තක් ලෙසිනි.
නමුත් මෙය සාවද්‍ය හැඟීමකි. දරුවන්ගේ සියලු දේ සොයා බලා ඉටුකර දීම අම්මා සේම තාත්තා ද කළයුතුය. හැකිතරම් මවුපියන් ඇසුරේම හැදෙන වැඩෙන දරුවන් සමාජයේ විෂමාචාර වලට යොමුවීම අවමය.
අම්මා හා තාත්තා ආදරයෙන් එකමුතුකමින්, සතුටින්, කරුණාවෙන්, මිත්‍රත්වයෙන් හිඳිමින් පවුලක් ලෙස දරුවන්ට නිරන්තරයෙන් ආදර්ශවත් විය යුතුය. කටගොන්නක් බීගෙන නිවෙසට එන පියා දකින පුතණුවන් මතින් බේරා ගැනීමට මවට පමණක් බැරිය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන්නේ විනාශයක් මිස සතුටක් නොවේ. පවුලේ එකමුතුකම, සතුට, දියුණුව අහිමි වීමට ප්‍රධානම සාධකයක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මතින් නිදහස් නම් පවුලේ සතුට සැමදා තියේවි.
මත්ද්‍රව්‍ය, මත්වතුර, දුම්වැටි, මත්කුඩු මේ කුමනාකාරයේ අහිතකර ඇබ්බැහිවීම් සඳහා යොමුවීමේ වැඩි ප්‍රතිශතයක් ඇත්තේ පුතණුවන්ය. නැතහොත් පිරිමි පාර්ශ්වයයි. එනිසා ආදරණීය අම්මේ, ඔබේ පුංචි පුතු බහතෝරන අවධියේ සිටම පන්සලට, පල්ලියට, කෝවිලට රැගෙන යන්නට පුරුදු වන්න.
ආගමික වටපිටාවක සහය ලබන විට දරුවන්ගේ සිත් තුළ පහන් සිතුවිලි ක්‍රම ක්‍රමයෙන් උපදී. හැම ආගමකින්ම උගන්වන්නේ අවිහිංසාවයි.
යහපතයි. කුඩා කාලයේ සිටම දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමු කරවන්න. පුතා, දුව ඊට අකැමැතිවන්නට පුළුවන. එහෙත් අම්මා, තාත්තා දරුවාට ඇහුම්කන් දී ඊට අවනත නොවන්න. පුජ්‍ය පක්ෂය ඇසුරේ දරුවන් හැදෙන විට විෂමාචාරවලට ගොදුරු වීම අවම වෙයි. දහම් පාසල් නොයන දරුවන් ගැන පාසල් ගුරුවරුද විමසිල්ලෙන් සොයා බලා එසේ නොවන්නේ නම් ඊට යොමුකරවන්න.
මක්නිසාද මවුපියන් කියන කරන දේට වඩා ගුරුවරු කියන දේ පිළිගන්නට අපගේ දරුවන් පෙළඹෙති. වෘත්තීය ජීවිතයේ විභාග අධ්‍යාපනය ඉවහල් වුවද ගුණ යහපත් දරුවන් ඇති වීමට දහම් දැනුම අවබෝධය අවැසිමය.
එනිසා හැම දරුවකුටම නොමිලයේ ලබාගත හැකි දහම් පාසල් දැනුම ලබාදීම කෙරෙහි දහම් පාසල් අධ්‍යාපනයෙහි වටිනාකම පිළිබඳ මවුපියන් දැනුවත් විය යුතුය. නැණ වගේම ගුණයෙන් පිරුණු දරුවන්ගෙන් රටට සමාජයට වැඩක් මිස අවැඩක් නොවනු ඇත.
ජීවිතය කොටස් හතරකට බෙදා දැක්විය හැකිය. පෞද්ගලික ජීවිතය, පවුල් ජීවිතය, පාසල් ජීවිතය සහ සමාජ ජීවිතය යනුවෙනි. අපගේ පවුල් ජීවිතය, පෞද්ගලික ජීවිතය සහ සමාජ ජිවිතය යහපත්ව ගත කරන්නට ඉතාම වැදගත් වනුයේ තමා පාසල් විය ගතකරන ආකාරයයි.
එනිසා පාසල් සමයේ තමා වෙළා ගන්නට එන මෙවැනි බියකරු ව්‍යසනයන්ගෙන් දරුවාට බේරී සිටීමට හැකිවන්නේ නිසි දහම් දැනුමක් ලබා තිබුණහොත් පමණි. පවට බිය විය යුතුමය. යහපත් මිනිසකු බිහිවීමට එය කදිම පදනමකි.