හරියට අත්කම් ඉගෙන ගත්තොත් ජීවිතය දිනන්න පුළුවන්

- අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනී ජයසිංහ
දෙසැම්බර් 2, 2024

එතැන තිබුණේ හිස් කඩදාසි කොළයක්. මේ නිකම්ම නිකම් හිස් කඩදාසියකින් කරන්න පුළුවන් මොනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඇයට පුළුවන් වුණා මේ කඩදාසි කොළයෙන් අපූරු මායාකාරී රටා මවන්න. ඒ විදිහෙ විස්මිත විස්කම් මවන්න හැකි දෑතක් ඇයට උපතින්ම හිමිව තිබුණා. අත්කමට පමණක් නොව මැහුමට, ගෙතුමට ද උපන් හපන් ඇය තරුණී පුවත්පත වෙනුවෙන් අමිල සේවාවක් කළ අත්කම් නිර්මාණ ශිල්පිනියකි. සිය දක්ෂතාව හා නිර්මාණාත්මක හැකියාවන් තුළින් අපූර්ව නිර්මාණ බිහිකරන කලාකරුවන් අතරින් චූලනී ජයසිංහ නම් ඇය අත්කම් කලාව තුළ දශක දෙකකට වැඩි කාලයක් සේවය කරමින් විශාල ගෝලබාලයන් පිරිසක් බිහිකරන ලද ගුරුවරියක්.

පසුගියදා පැවැති women Legends සම්මාන රාත්‍රියේදී අත්කම් ක්ෂේත්‍රය වෙනුවෙන් ඇගයීමට ලක් වූ එකම අත්කම් නිර්මාණ ශිල්පිනිය වීම විශේෂයි. ඒ සුවිශේෂිත අවස්ථාව ගැන අදහස් දැක්වීමට ඈ තරුණී සමඟ එකතු වුණා. එය මාගේ ජීවිතයේ මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. women Legends 2024 සම්මාන රාත්‍රිය කියලා තමයි එය නම් කරලා තිබුණේ. MUGP International Organization ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කර තිබුණු මෙම සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වෙන්න මටත් අවස්ථාව ලැබුණා. එය

ශ්‍රී ලංකාව පුරා විවිධ හැකියාවන් සහිත අත්කම් නිර්මාණවේදිනියන් වෘත්තීයවේදිනියන්, කලාකාරිනියන් මාධ්‍යවේදිනියන් රූපලාවණ්‍යය ශිල්පිනියන්, ව්‍යවසායිකාවන් ඇතුළු විවිධ පැතිකඩ නියෝජනය කරන කාන්තාවන් ඇගයීමකට ලක් වූ දැවැන්ත සම්මාන රාත්‍රියක්.

විවිධ ක්ෂේත්‍රවල නියැළෙන කාන්තාවන් 60 දෙනෙක් පමණ එදින ඇගයීමට ලක් වුණා. එම අවස්ථාවේදී අත්කම් ක්ෂේත්‍රය තුළ ඇගයීමක් හිමි වූයේ මා හට පමණයි.

මේ විදිහට අත්කම් ක්ෂේත්‍රය තුළදී අවස්ථා කිහිපයකදීම මා සම්මානයට පාත්‍ර වුණා. අහස මීඩියා ආයතනයෙන් සංවිධානය කරන top 100 සම්මාන උලෙළේදීත් අවස්ථා දෙකකදීම මට ඇගයීමක් ලැබුණා.

අත්කම් නිර්මාණ ක්ෂේ්ත්‍රයේ ප්‍රවීණ නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වුණේ?

මගේ මව හැම කටයුත්තකටම ඉතාමත් දක්ෂ කාන්තාවක්. ඒ වගේම ඇය නියෝජ්‍ය විදුහල්පතිනියක්. ඇයගෙන් ලැබුණ ආභාෂයත් සමඟ තමයි අත්කම් නිර්මාණ කලාවට පුංචි කාලේ ඉඳලා යොමු වුණේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය කාලය තුළ පන්තිවල අවුරුදු පතා පවත්වන ප්‍රදර්ශනවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබෙනවා.
ඉතින් ඒ වගේම වාර අවසානයත් සමඟ ලැබෙන හැම පාසල් නිවාඩුවකදීම සහ විවේකී අවස්ථාවකදීම මම අත්කම් නිර්මාණ හදා බලමින් අත්කම් නිර්මාණ කලාවේ යෙදුණා.

දැනට ඔබ සතුව විශාල ගෝලබාලයන් පිරිසක් සිටිනවා..

ඒ ආපු ගමනෙන් මට කාන්තා පුවත්පත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මුලින්ම මම සම්බන්ධ වුණේ තරුණී පුවත්පතත් එක්ක. තරුණී පුවත්පත එක්ක අවුරුදු 11ක් තිස්සේ ඉඳන් වැඩකරගෙන යනවා. ඊට අමතරව කාන්තා පුවත්පත් ගණනාවක් එක්ක මම වැඩ කරලා තියෙනවා. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකාවක් විදිහට වැඩ කළා අවුරුදු 11ක විතර කාලයක්. එහි දිරිය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ස්වයං රැකියා පුහුණු පාඨමාලා පවත්වනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි ඒ සියලු දේ සිදුවන්නේ. ඒ අතරතුර විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ සඳහාත් ඒ දරුවන්ගේ මවුපියන්ට අත්කම් නිර්මාණවලට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදෙමින් පාඨමාලාවන් නොමිලේ පවත්වනවා. අත්කම් කියන්නෙ තමන්ට මානසික සතුට සොයා ගන්න පුළුවන් කලාවක්. මම ගෙදරදී ගෘහිණියක් විතරක්ම නෙවෙයි. මම ගෙදර පුද්ගලික ආයතනයක් පවත්වාගෙන යනවා. ඒකෙන් යම්කිසි ආදායම් ලබා ගත්තත් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ එයිනුත් සමාජ සුබසාධන කටයුතු කරන්න. ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට පොත් පත් අරන් දීලා, ආර්ථික අපහසුතා තියෙන පවුල්වලටත් මම ගොඩාක් උදවු කරනවා. මේ හැමදේටම පවුලේ අය උදව් කරනවා. පුතා ඉංජිනේරුවර‍ෙයක්. දුව කථිකාචාර්යවරියක්. සැමියා පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා. සැමියා ප්‍රසන්න කුමාර. සැමියාගේ සහයෝගය නිසයි මේ ගමන මම අද ඇවිත් ඉන්නේ. ඔහුගේ ඒ සහයෝගය නැත්නම් මේ ගමන එන්න අමාරුයි.

 

[email protected]