වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
අලුත් වසරට යන්න අදම නීට් වෙන්න
නීරෝගිකම උතුම්ම ලාභයයි. මේක ඇසූ සහ නොදන්න කෙනෙක් නැති තරම්. එහෙත් අපි අපේ ශරීර සෞඛ්‍යය ගැන උනන්දු ද? ඇත්තෙන්ම නැහැ. රෝගී ගතට සිතට බෙහෙත් කරනවා විනා ඊට පෙර ඒ ගැන කිසිදු තැකීමක් නැත. එහෙත් සැබෑවටම විය යුත්තේ පෙර සූදානමයි. මේ එළැඹෙන අලුත් අවුරුද්ද පිළිගන්න ඔබ අද දවස පවත්වාගෙන යා යුතු අයුරුයි.
ආයුර්වේදයේ, රෝගයක් ඇතිවූ විට ප්‍රතිකාර යොදනවාට වඩා රෝග වළක්වාගෙන ස්වස්ථ බව හෙවත් නීරෝගි බව රැකගැනීම වඩා වැදගත් කොට සැලකේ. මෙලොව හා පරලොව වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධනයක් ලබා ගැනීමද අරමුණු කොටගෙන සදාචාරාත්මක ප්‍රතිපත්ති මාලාවක්ද ඉදිරිපත් කොට තිබේ. මෙය ස්වස්ථ වෘත්ත නමින් හඳුන්වනු ලැබේ. ස්වස්ථ බව රැකගැනීමට පිළිපැදිය යුතු පිළිවෙත් කරුණු හතරක් යටතේ විග්රහකර තිබේ. එනම්,
1. දින චර්යා
2. නිශා චර්යා
3. සෘතු චර්යා
4. ධර්ම චර්යා වශයෙනි.
මේ පුද්ගලයා විසින් දිවා කාලය තුළ හා රාත්‍රී කාලය තුළ සෞඛ්‍ය රැකෙන පරිදි හැසිරිය යුතු නිවැරදි පිළිවෙත්ය. එනම් අලුයම පිබිදීම, පිරිසුදුවීම, දත් මැදීම, මුහුණ කට අත් පා සේදීම, සුදුසු පරිදි තෙල් ගැල්වීම, ව්‍යායාම කිරීම, ස්නානය, ආහාර ගැනීම යනාදියයි.
කුඩා දරුවන්, වෘද්ධ පුද්ගලයන් සහ රෝගීන් හැර අනිත් සියලු දෙනාට තමාගේ සෞඛ්‍ය සංරක්ෂණය පිණිස අලුයම අවදිවීම ඉතා වැදගත් කාරණාවකි. ආයුර්වේදයෙහි සඳහන් වන්නේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීම සුදුසු බවය. සාමාන්‍යයෙන් මෙම කාලය උදෑසන 4.00 - 5.00ත් අතර කාලය ලෙස සැලකිය හැකිය. අලුයම පිබිදීම ශරීරයෙහි මෙන්ම මනසෙහි ප්රබෝධය ඇති කිරීමට හේතු වේ. ඉන්පසු මුඛය සෝදා පිරිසුදු වතුර එකක් බීමද ස්වස්ථ කාරණයකි. උදෑසන හිස්බඩට වතුර බීම ශාරීරික අධික උෂ්ණය පාලනය කර සිරුර සිසිල්වීමටත්, මල මූත්‍රා නිසි ලෙස බැහැරවීමටත්, ආහාර ජීර්ණය හොඳින් සිදුවීමටත්, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග වළක්වා ගැනීමටත් උපකාරී වේ.
ආයුර්වේදයෙහි ඇතිවූ මල මූත්රාෙව්ග දරාසිටීම රෝග හේතුවක් ලෙස සඳහන් කර තිබේ. එම නිසා මල මූත්‍රා ආදී අපිරිසුදු පදාර්ථ නිසි ලෙස බැහැර කර ශරීරය පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. කාර්ය බහුල සමාජය තුළ බොහෝ දෙනකු මෙය පැහැර හරින අතර එය බොහෝ රෝග උත්පාදක හේතුවක් වන්නේය.
ඉන්පසු සුදුසු ඖෂධීය දන්ත චූර්ණයක් භාවිත කර දත් මැද, දිව සහ මුඛය පිරිසුදු කර ගත යුතුය. තවද ඇස්, නාසය, උගුර, ශ්වාසනාල, දත්, හිස හා ශරීරය ආදියේ නීරෝගිබව රැකගැනීම සඳහා අඳුන්ගෑම, නස්න කිරීම, ඖෂධීය ද්රවවර්ගවලින් මුඛය සේදීම, ඖෂධීය ධූමපාන විධි, බුලත් සැපීම, ඇඟපතේ තෙල් ගෑම ආදිය යෝග්‍ය පරිදි යොදා ගැනීමට නිර්දේශ කර තිබේ.
යෝග්‍ය ව්‍යායාමවල යෙදීමද සෞඛ්‍ය වර්ධනය කරන ආචාර ධර්මයකි. මිනිසාට තමාගේ ශරීර උසට සරිලන බරක් පවත්වා ගැනීම පිණිස දෛනික ව්‍යායාම්වල යෙදීම සුදුසුය.
විවිධ රෝග හෝ සෙම් තත්ත්වයෙන් නොපෙළෙන පුද්ගලයාට දෛනිකව ස්නානය කිරීම කායික පිරිසුදු බවටත් මානසික ප්‍රසන්න බවටත් අවශ්‍ය වේ. ඊළඟ චර්යාව වන්නේ පෝෂ්‍යදායී ආහාර ගැනීමය. ශ්‍රී ලාංකිකයන් වන අප උදේ, දිවා, රාත්‍රී වශයෙන් ප්‍රධාන ආහාරවේල් තුනකට හුරුවී ඇත. මේ අතරින් උදෑසන ආහාර වේල වඩා වැදගත් වන අතර එයට බර ආහාර එකතු කර ගැනීමද සුදුසු වේ. දිවා ආහාරය ද නිසි පෝෂණ ගුණාංගවලින් සමන්විත සමබල විය යුතු අතර රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීමද යෝග්‍ය වේ. දිවා කාලය තුළ ශාරීරිකව හා මානසිකව ඇතිවූ පීඩාව දුරුකර විවේකය ලැබීම පිණිස රාත්‍රී කාලයේදී යහපත් නින්දක් ලබා ගැනීම නිශා චර්යාව වන්නේය.
සෘතු චර්යා ද පුද්ගල ජීවිතය කෙරෙහි යම් යම් බලපෑම් ඇති කරන බැවින් එම කාලය තුළ සෞඛ්‍ය රැකගැනීම සඳහා සෘතුවට අනුව පැවතිය යුතුය. වසන්ත, ග්‍රීෂ්ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර වශයෙන් වර්ෂය සෘතු හයකට බෙදා දක්වා තිබුණද ශ්‍රී ලංකාව තුළ පැහැදිලි සෘතු භේදයක් දක්නට නොමැත. නමුත් ග්‍රීෂ්ම කාලය, වර්ෂා කාලය, ශීත කාලය, වසන්ත කාලය ආදී වශයෙන් වෙන් වෙන් වූ කාලගුණික තත්ත්ව දක්නට ලැබෙන බැවින් එම සෘතුවලට අනුව පුද්ගලයාගේ ශාරීරික තත්ත්වයද විපර්යාසයට ලක්වන බැවින් සෘතු චර්යාව පැවැත්වීම වැදගත් වේ. මෙහිදී පුද්ගලයා විසින් ගනු ලබන ආහාර පාන, ඖෂධ, හැසිරීම් රටාව ආදිය සෘතුවට අනුකූල විය යුතුය.
මේ ලෙසින් දවසේ කටයුතු නිරවුල්ව සිදුකරගෙන එළැඹෙන වසරම නීරෝගිව සතුටින් ඉන්න.
උපදෙස් -
ආයුර්වේද
විශේෂඥ වෛද්‍ය
කාන්ති මදුරප්පෙරුම