වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
සාරි පොටින් දැවටුණු ඇය මල් මනාලියයි
ශ්‍රී ලංකාවේ මනාලියන්ට ආවේණික වූ ඇඳුම ඔසරියයි. මෙය එදා කන්ද උඩරට කාන්තාවන් ඇඳ සිටි ඇඳුමයි. 'එදා හෙළදිව' පොතේ රොබට් නොක්ස් දක්වා ඇත්තේ රෙද්ද ඇඳ කරට රෙදි කැබැල්ලක් දමා, පසුව උර දෙකටම රෙදි කැබැල්ලක් දැමූ පිරිසක් බවයි. එහි විකාශනය ඔසරිය දක්වාම පැමිණෙන්නට විය. එදා ඇන්දේ ළා නිල් පාට ළා රතු පාට, සුදු පාට රෙද්දට මල් වැටුණු ඇඳුම්ය.
ලියකට සාරියකින් හෝ ඔසරියකින් ගෙන එන්නේ අලංකෘත බවකි.
සාරිය ඉන්දියානුවන්ට ආවේණික වූ ඇඳුමකි. අප එය හඳුන්වන්නේ පහත රට ඇඳුම ලෙසයි. දකුණු ආසියානු රටවල කාන්තාවන් බොහෝවිට සාරි අඳිනු දක්නට ලැබේ. ඉන්දීය කාන්තාවන්ගේ ජාතික ඇඳුම සාරියයි.
මනාලියක් වනදා ඔබ සැරසෙන්නේ ඔසරියකින් ද සාරියකින්ද යන්න පළමුව තීරණය කළ යුතුයි.
සාරි වර්ග
නෙට් සාරි, ජිපියො ලේස් සාරි, වොයිල් සාරි, කොට්න් සාරි, දිලිසෙන සුළු සාරි, කංජිපුරම් සාරි, ඔගෙන්සා සාරි, වර්ක් කළ සාරි, මේඩ් අප් කළ සාරි ...... මනාලියකට ඇඳිය හැකි මෙවැනි සාරි වර්ග බොහොමයක්ම වේ. මේ අතරින් නෙට් සාරි, ඔගෙන්සා සාරි, සිල්ක් සාරි වඩාත් ජනප්‍රියයි.
මනාලියකගේ සිරුරේ ලාලිත්‍ය ඔප් නංවන සාරියකින් හෝ ඔසරියකින් ඇයව සැරසවීමට හැඩගන්වන තැනැත්තිය හෝ තැනැත්තා දක්ෂ විය යුතුයි.
විවිධ මිල ගණන් යටතේ
රුපියල් දෙදාහේ සිට ලක්ෂ ගණන් දක්වා වූ විචිත්‍රවත් මංගල සාරි තිබේ. අතින් වැඩ දැමූ සාරි තරමක් මිල අධික වේ. ක්‍රිස්ටල්, මුතු, පබළු, සීක්වීන්ස්, කට්වර්ක්, එම්බ්‍රොයිඩර් ආදියෙන් සාරියකට අපූර්වතම පෙනුමක් ලැබේ. සාරිය මිලෙන් වැඩි වන්නේ ඒ වැඩ දැමීමට ගන්නා දේවල් අනුවයි.
සාරියේ පැහැය
සාරියේ පැහැය තීරණය වන්නේ ඇගේ සමේ පැහැයට මූලිකත්වය දෙමිනි. වඩාත් පැහැපත් සමක් ඇති අයකුට අයිවරි පැහැය, ළා රෝස පැහැය සුදුසුයි. පිළියෙල කළ කිරි තේ එකක අඩුම කහට පැහැයේ සිට තද කහට පැහැය දක්වාම වූ පැහැයන් මනාලියන්ගේ සාරිය සඳහා සුදුසුවේ.
සාරියේ පැහැය තෝරාගැනීමේ දී මංගල උත්සවය පැවැත්වෙන්නේ උදේ වරුවේද හවස් වරුවේද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
සිරුරේ ප්‍රමාණය
සාරිය තෝරා ගැනීමේදී ශරීරයේ උස මහත පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. තරබාරු බවින් වැඩි අයකුට පිම්බෙන සාරි අඳින්නට බැහැ. හොඳින් කඩා හැලෙන බර බෝඩරේකින් යුතු සාරි එවැනි අයට වඩාත් සුදුසුයි. සාරියේ දිග ප්‍රමාණය යාර හයක් විය යුතුමයි. සාරියේ දිග ප්‍රමාණය යාර හයකින් යුතු නොවද්දී උස මහත කෙනකුට ඇන්දවීම අපහසුවේ. එවිට සාරියේ ඇතුළට වෙනත් කොටසක් එක් කරන්නට සිදුවේ.
මෙහිදී මහත අයෙක් තෝරා ගත යුතු වන්නේ සිහින් බෝඩරයක් යෙදූ සාරි වන අතර මහත අය මහත බෝඩරයක් යෙදූ සාරියක් ඇඳීමේදී මහත බව මෙන්ම ශරීරයේ මිටි බවද වඩාත් පෙන්වයි. මේ නිසා සිහින් බෝඩරයක් යෙදූ සාරියක් මඟින් මේ ලක්ෂණ මඟහරවා ගන්න පුළුවන්.
මංගල සාරියක් බොහෝ විට අඟල් 45ක පමණ පළලකින් යුතුවෙයි. උසින් අඩු කෙනකුට එනම් අඩි 4ක්, 4 1/2ක් උස කෙනකුට මේ ප්‍රමාණය වැඩි වන්නට පුළුවනි. එවිට සාරියේ උඩින් කොටසක් ඉවත් කර සාරිය මේඩ් අප් කිරීමට සිදුවේ.
සාරි හැට්ටයේ කර
පළල් උරහිසක් ඇති මනාලියක් නම් කර තරමක් වැසිය යුතුයි. බෝට් නෙක් එකක් මෙන් කැපුවහොත් තවත් පළල් ලෙස පෙනේ.
පපුව වැඩිපුර ඇත්නම් බෙල්ලත් සමඟම වගේ ඇත්නම් සාරි හැට්ටයේ කර ගැඹුරින් තිබිය යුතුයි. මහතින් වැඩි කෙනකුට බාස්කට් නෙක් එකද වඩාත් සුදුසුයි. රවුම් කර පොදුවේ ඕනෑම කෙනකුට ලස්සනක් ගෙන දේ.
පිටුපස කර කපනවාද නැද්ද යන තීරණය කරන්නේ ඇගේ මාංසපේශීන් ඇති අන්දම අනුවයි. අවුරුදු විස්ස විසිතුන වයසේ පසුවන මනාලියන්ට පිටුපස කර අඟල් දෙකේ සිට තුන දක්වා ගැඹුරු කළ හැකියි. එහෙත් මාංසපේශීන් එල්ලා හැලේ නම්, කළුවට ඇත්නම් කර ගැඹුරට කැපීම සුදුසු නොවේ.
සාරි හැට්ටයට නොයෙකුත් විසිතුරු කළ හැක්කේ සාරි හැට්ටයේ පිටුපසටයි. සාරි හැට්ටය සඳහා වන කොටස ඩිසයින් වී ඇති අන්දම අනුවත් සාරි හැට්ටය සකස් කරන්නට සිදුවේ. Body Shape එකට සාරියේ කර සහ අත සැකසිය යුතුයි.
සාරියේ අත
සාරි හැට්ටයේ අත ඩිසයින් කරන තරමට එය ලස්සන වෙයි.
අත් ගොබ වැඩියෙන් ඇත්නම් එය වැසිය යුතුයි. මනාලියන්ට අත් කපා සාරි හැට්ටය සැකසීම එතරම් සිදු නොකරයි. එය ප්‍රියජනක නොවේ. යාන්තමින් මැගී අත් දෙකක් හෝ දමයි.
උස කෙනකුට අත දිගට දැමිය හැකියි. එය ඉතාම ලස්සනයි. මධ්‍යම ප්‍රමාණයේ උසක් ඇති කෙනකුටත් එය ගැළපේ. කෙට්ටු කෙනකුට වැලමිට දක්වා අත දමා එතැන ෆ්‍රිල් එකක් දැමිය හැකියි. එවිට කෙට්ටු ගතිය මඟහැරේ. අත දිගට දමද්දී එය වර්ක් කරන තරමට ලස්සනයි.
කෙට්ටු අතක් ඇති කෙනකුට බටයක් මෙන් අතක් දැමිය යුතුයි.
සාරිය මේඩ් අප් කිරීම
මෙය නවතම විලාසිතාවකි. පහසුවත් අලංකෘත බව ගැනත් සිතා සාරි මේඩ් අප් කරයි. සාය කොටසට ඉදිරිපස රැලි ටික මසා සාරිය වටයක් කරකවා පොටද රැලි දමා මසා කරට දමයි.
යට සාය
මනාලියගේ මංගල සාරියේ යට සාය ද සාරියට ගැළපෙන අයුරින් මනාව නිම විය යුතුයි.
සාරිය බරෙන් වැඩිනම් ඇතුළු පැත්ත නොපෙනේ නම් කොට සායක් වුව ඇඳිය හැකියි. විනිවිද පෙනෙන සාරියක් නම් සපත්තුවේ තරමටම හා පොළොවේ මට්ටමටම යට සායද දිග විය යුතුයි. ඉදිරිපසින් බොක්ස් ෆීලීට් එකක් තිබිය යුතුයි. දණහිස ළඟට වෙනකම් කොටස ඇඟේ ප්‍රමාණයට වී ඉතිරි කොටසට බොක්ස් ෆීලීට් එක දැමිය යුතුයි. ඒ ඇවිදීමට පහසුවීමටයි. සිප් එකක් ඉදිරිපසට හෝ පැත්තකින් දැමිය හැකියි. සාය අනිවාර්යයෙන් ඩාර්ට් කළ යුතුයි. එවිට ඇඟ හැඩේට තිබේවි. නිතඹ ප්‍රදේශය එතරම් නැත්නම් යට කලිසම පැඩඩ් කර ගත හැකියි. සාය සිල්ක් රෙද්දකින් කරන්නේ නම් යටට පොප්ලින් දැමිය යුතුයි. නැත්නම් කසන්නට ගනියි.
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)