සල්ලි මවන රෙසින් හැඩ වැඩ

ස්වයං රැකියාවක් අරඹන්නටත් හරි අපූරු අදහසක්
පෙබරවාරි 6, 2023

 

කතිර රටා, එම්බ්‍රොයිඩරි, පැච්වර්ක් ආදී විවිධ මැහුම්, ගෙතුම්, අත්කම්වලින් සකසා ගන්නා නෙත පිනවන සොඳුරු නිර්මාණවලින් නිවෙසට කදිම කලඑළියක් ගෙන දෙන්නට අපේ ගෘහණියන් දක්ෂයි. නමුත් අද අපි ඉදිරිපත් කරන්නේ අත්කම් නිර්මාණ කලාවට අලුත්, ඒ වගේම ස්වයං රැකියාවක් ලෙස ලාභ ලැබිය හැකි අත්කම් නිර්මාණයක් ගැනයි.

 

විසිතුරු රෙසින් නිර්මාණ කලාව කියන්නෙ ඉතාම සුන්දර  ක්ෂේත්‍රයක්. ඒ වගේම තෘප්තියෙන්  කරන්නට පුළුවන් වෘත්තියක්. ඉතා කෙටි කලකින් හැදෑරිය හැකි ක්ෂේත්‍රයක් නිසා දැන් බොහෝ දෙනා රෙසින් නිර්මාණ කලාවට පිවිසෙමින්  සිටිනවා.

 

සාර්ථක රෙසින් නිර්මාණයක් බිහිකිරීමට නම් රෙසින් භාවිත කරන ආකාරය ඉතා නිවැරැදිව දැන සිටිය යුතුයි. එලෙසම එහිදී භාවිත කරන ක්‍රමවේදය දැන සිටිය යුතුයි.

 

නිවැරැදි දැනුමෙන් සහ නිර්මාණශීලි අදහස්වලින් ඉතා සුන්දර රෙසින් නිර්මාණ බිහිකිරීමට හැකි වනවා.

 

රෙසින් නිර්මාණ සදහා භාවිත වන මූලිකම ද්‍රව්‍යය වන Epoxy Resin නිසියාකාරව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ සතු දැනුම රෙසින් කලාවේ යතුර ලෙස හැඳින්විය හැකිය. ඉතා හොඳ තත්ත්වයේ crystal clear epoxy resin දැන් ඔබට වෙළෙදපොළෙන් මිල දී ගත හැකියි. 

 

රෙසින් වර්ග ගණනාවක් වෙළෙදපොළේ පවතින බැවින් crystal clear epoxy resin පමණක් තෝරාගැනීම වැදගත්.

 

විසිතුරු රෙසින් නිර්මාණ කලාවෙන් නිපදවීමට හැකි නිර්මාණ වපසරිය  කරාබු, කීටැග්, පෙන්ඩන්ට් වැනි කුඩා නිර්මාණවල සිට ටේබල් ටොප්ස, පැන්ට්‍රි ටොප්ස් සහ බිම් ඇතිරුම් (resin flooring) දක්වා දිව යනවා. වියළා ගත් මල්, කොළ වැනි ස්වාභාවික ද්‍රව්‍ය රෙසින් නිර්මාණ තුළට අන්තර්ගත කිරීම රෙසින් නිර්මාණයේ ගුණාත්මක බව වැඩි කිරීමට හේතු වනවා. එසේම රෙසින් නිර්මාණය වර්ණ ගැන්වීමට අවශ්‍ය විවිධ වර්ණක ද (colour pigments) දියර (liquid) ලෙස මෙන්ම කුඩු (powder) ලෙසද පවතිනවා. ඊට අමතරව ඡායාරූපයක්, පුද්ගල නමක් වැනි දෙයක් රෙසින්  නිර්මාණය තුළට අන්තර්ගත කිරීමද  සිදු කළ හැකි අතර ජීවිත කාලයටම වටිනා මතක සටහනක් නිර්මාණය කළ හැකිය.

රෙසින් නිර්මාණ සැකසීමේ දී බොහෝ විට සිලිකන් රබර් අච්චුවක් (silicon molds) භාවිත කරනු ලබයි. නමුත් මෝල්ඩ් එකක් නොමැතිව සකසාගත හැකි රෙසින් නිර්මාණද පවතී.

රෙසින් නිර්මාණ කලාවට පිවිසෙන ආධුනිකයින්ට වුවද පහසුවෙන් සකසාගත හැකි කෝස්ටර් මෝල්ඩ් එකක් ආධාරයෙන් රෙසින් නිර්මාණයක් සකසා ගන්නා ආකාරය අද අපි විමසා බලමු. මේ නිර්මාණය පේපර් වෙයිට් එකක්, නැතිනම් සිහිවටනයක් විදිහටත් යොදා ගත හැකියි.

 

 

Crystal Clear Epoxy Resin සහ Epoxy Hardener

 

සිලිකන් රබර් Coaster මෝල්ඩ් එකක්

රෙසින් සහ හාඩනර් මැන ගැනීමට වෙන වෙනම මිනුම් කෝප්ප දෙකක්

(measuring cups)

මිශ්‍ර කර ගැනීමට mixing cup එකක්.

Mixing tools

නිසි පරිදි විජලනය කරගත් ස්වාභාවික මල් හෝ  කෘත්‍රිම මල්

අවශ්‍ය නම් ඇල්කොහොල් වර්ණක හෝ MICA වර්ණක

 

 

ප්‍රථමයෙන්ම සිලිකන් මෝල්ඩ් එකට අවශ්‍ය රෙසින් සහ හාඩ්නර් මිශ්‍රණ ප්‍රමාණය සොයාගත යුතුය . ඒ සඳහා මෝල්ඩ් එකට ජලය පුරවා එම ප්‍රමාණය  එන්නත් සිරින්ජරයකින් හෝ මිනුම් කප් එකකින් මැන ගන්න. එසේ මැනගත් පසු මෝල්ඩ් එකෙන් සම්පූර්ණයෙන් ජලය ඉවත් කිරීමට වගබලාගත යුතුය. දැන් ඔබ විසින් කළ යුත්තේ ඔබ භාවිත කරන රෙසින් වර්ගයේ නිශ්පාදකයා නිර්දේශ කර ඇති අනුපාතයට එම මුළු මිශ්‍රණ ප්‍රමාණය බෙදාගැනීමයි.

උදා- 2:1 අනුපාතය නම්. මෝල්ඩ් එකේ පරිමාව මිලි ලිටර් 24නම්

ඔබ විසින් රෙසින් මිලි ලිටර් 16 සහ හාඩනර් මිලි ලිටර් 8 මැන ගත යුතුය.

මෙසේ මැන ගැනීමේදී කිසිම විටෙක රෙසින් හෝ හාඩනර් වැඩිපුර නොයෙදිය යුතුය.

නියමිත පරිදි මිනුම් කප් දෙකෙන්  වෙන වෙනම රෙසින් සහ හාඩනර් මැනගෙන මිශ්‍ර කරන කප් එකට දමාගන්න. (මිනුම් කප් දෙක නම් කර තබාගෙන සෑම විටම රෙසින් මැනීමට එකම කප් එකත් හාඩනර් මැනීමට එකම කප් එකත් භාවිත කිරීමෙන් ඒවා දීර්ඝකාලීන ව භාවිත කළ හැකිය.

මිශ්‍ර කිරීමේ කප් එකට රෙසින් සහ හාඩනර් දමා එකම දිශාවකට රිද්මයානුකූලව විනාඩ් හතරකට වැඩි කාලයක් එක දිගට මිශ්‍ර කරගන්න. රෙසින් හාඩනර් දෙකම අවර්ණ බැවින් මිශ්‍ර වීම පිටතින් හඳුනා ගැනීම අපහසු බැවින් නියමිත කාලය හොඳින් මිශ්‍ර කර ගැනීම අනිවාර්ය වේ. රෙසින් හාඩනර් මිශ්‍ර කිරීමේදී ඇතැම් විට මිශ්‍රණයේ වායු බුබුළු හටගැනීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවකදී හොඳින් මිශ්‍ර කරගත් මිශ්‍රණය මෝල්ඩ් එකට දැමීමට පෙර මිනිත්තු පහක් පමණ යන තුරු එසේම තිබෙන්නට හරින්න. එවිට බොහෝ වායු බුබුළු ඉවත්වී යයි. කිහිපයක් ඉතිරි වුවහොත් සෙමෙන් බිඳ දමන්න.

වර්ණ ගැන්වීම් ආදිය සිදු කරනවා නම් මිශ්‍ර කරන අවස්ථාවේදීම යොදාගත හැකිය.

රෙසින් නිර්මාණයේ ගුණාත්මක බව වටිනාකම ඉහළ නංවන එක් සාධකයක් වන ස්වාභාවික ද්‍රව්‍ය අන්තර්ගත කිරීමක් ද සිදු කරනවා නම් නිර්මාණය සඳහා යොදාගන්නා මෝල්ඩ් එකෙන් බාගයකට අදාළ ප්‍රමාණයක් රෙසින් හාඩනර් මිශ්‍ර කරගෙන එය මෝල්ඩ් එකට යොදා පැය තුනහමාරක් පමණ තබන්න. එවිට අර්ධව මිශ්‍රණය සවි වී ජෙල් මට්ටමකට පැමිණේ. එවිට අවශ්‍ය ද්‍රව්‍ය ඒ මත තැන්පත් කරගෙන ඉන්පසු නැවත ඉතිරි මිශ්‍රණ ප්‍රමාණය සකසාගෙන මෝල්ඩ් එකට දමන්න. ‍රෙසින් නිර්මාණය සැකසිමේදී සමතල පෘෂ්ඨයක් (level surface) එකක් මත මෝල්ඩ් එක තබා ගැනීම අනිවාර්ය වේ. දැන් නිර්මාණය සවි වීමට තබන්න. හොඳ තත්ත්වයේ රෙසින් වර්ගයකින් නිර්මාණ සැකසීමේදී කුඩා නිර්මාණයක් නම් පැය 9 කින් පමණ සවි වේ. තරමක් විශාල නිර්මාණයක් නම් පැය 24ක් තැබිය යුතුය. සවි වූ පසු මෝල්ඩ් එකෙන් ගලවා නිර්මාණය නිම කර ගත හැකිය. මෙසේ නිම කර ගත් රෙසින් නිර්මාණය බීම විදුරු, කෝප්ප තැබිය හැකි ටේවල් මැට් ලෙසත් පේපර් වේට් එකක් ලෙසත් භාවිත කළ හැකිය.

  ඡායාරූප - රුක්මාල් ගමගේ

 

උපදෙස්

රෙසින් අත්කම් නිර්මාණ ශිල්පිනී

චංචලා අතුකෝරාල