හැමෝම හොයන රෙසින් පෑන මෙහෙම හදමු

මාර්තු 11, 2024

අනිත් අයගේ ජීවිතවල සතුට ලියන පෑනක් වෙන්න... දුක මකලා දාන මකනයක් වෙන්න. කවදාවත් වැරදි ලකුණු කරලා රිද්දන රතු පෑනක් වෙන්න එපා. මේ කියමන මම දැක්කේ මුහුණුපොතේ සැරිසරද්දී... පෑන් ගැන කියද්දි මට මතක් වුණේ රෙසින්වලින් නිර්මාණය කරන reusable pen එක. අනිත් අයගේ ජීවිතවල සතුට ලියන පෑන තමන්ම හදලා තවත් කෙනෙක්ට තිළිණ කරන්න පුළුවන් නම් ඒක අමතක නොවන තිළිණයක් වේවි.

රෙසින් කලාවෙන් ඒ නිර්මාණයට අකුරු සහිත නමක් එකතු කරන්නත් පුළුවන් නිසා ඔන්න ඉතින් අායේ නම් ඔයාගේ පෑන නැති වෙන එකකුත් නැහැ. මොකද කාර්යාලයක නම් කාට කාටත් වටිනම දේ තමයි පෑන. මේ තිබ්බා.. මේ නෑ වගේ දෙයක්නේ තියෙන්නේ. එහෙම අයට තමයි මේ පෑන ගොඩක්ම වටින්නේ.

මෙන්න මේ විදිහට එය නිර්මාණය කරලා බලමු.

මේ පෑන නිර්මාණය කරගන්න ක්‍රම දෙකකට පුළුවන්. එකක් රූපයේ දැක්වෙන පරිදි පිටුපස කුඩා කෑල්ලක් සහිත මෝල්ඩ් එකෙන් නිර්මාණය කරන පෑන. ඒකට කියන්නේ resuble pen කියලා. මොකද මේ පෑනේ කාබන් කූර ඉවර වුණාම තවත් කාබන් කූරක් දාන්න පුළුවන් විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද මෙච්චර මහන්සියෙන් හදන රෙසින් පෑනේ තීන්ත ඉවර වුණාම අහක දාන්න වුණොත් ඒ පෑනේ වටිනාකම අඩුයිනේ. හැබැයි අනෙක් ක්‍රමයට හදන පෑන නම් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ තීන්ත ඉවර වෙනකම් විතරයි.

එහෙනම් දැන් අපි මේ නැවත පාවිච්චි කළ හැකි පෑන මේ විදිහට හදන්න පටන් ගනිමු. මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවි.

ඔබ ප්‍රියකරන කැමැති වර්ණයකින් මේ පෑන නිර්මාණයකර ගත හැකියි. මෙවර අපි යොදාගෙන තිබෙන්නේ දම් වර්ණයයි. මේ වර්ණය සකසා ගැනීමට කුඩා කප් එකකට සකසාගත් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් එකතුකර දම් වර්ණ මයිකා පවුඩර් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න.

මේ පෑන නිර්මාණය කිරීමට රූපයේ දැක්වෙන පරිදි reusable pen mold එකක් සහ සිහින් බටයක් අවශ්‍ය වේ. දැන් සිහින් බටය ගෙන මෝල්ඩ් එකේ පිටුපස කෑල්ලට සම්බන්ධවන ආකාරයට රූපයේ පරිදි දමා ගන්න. දැන් දම් වර්ණ රෙසින් මිශ්‍රණය මෝල්ඩ් එකට එකතු කරන්න. මෝල්ඩ් එකට රෙසින් මිශ්‍රණය එකතුකර ගනිද්දී මෝල්ඩ් එකේ ලේයර් එකක් ඉතුරුවන පරිදි එය එකතුකර ගත යුතුය. දැන් මෙය මඳ වේලාවක් වියැළෙන්න තැබිය යුතුයි. එය ජෙල් වැනි ඇලෙන තත්ත්වයකට පැමිණි පසු බීඩ්ස්, පර්ල්ස් සහ මල් එහි අලවා ගන්න. නමක අකුරු වුණත් අලවා ගන්න පුළුවන්. හැබැයි ඔබ මෙය පරීක්ෂා කරන විට හොඳින්ම වියැළී තිබුණොත් මේවා අලවා ගැනීමට නොහැකි වේවි. එවිට ඔබ කළ යුතු වන්නේ ක්ලියර් රෙසින් ලේයර් එකෙන් මඳක් ගෙන වියැළුණු දම් වර්ණ රෙසින් ලේයර් එක මත ආලේපකර මේවා අලවා ගැනීමයි. මේවා නිර්මාණශීලිව අලවා ගැනීමෙන් පසු අවසානයට පිරිසුදු ක්ලියර් රෙසින් ලේයර් එක දමා ගන්න. දැන් නැවතත් එය වියැළෙන්න තබන්න. වේළුණු පසු මැද ඇති සිහින් බටයේ සිදුුර තුළින් කාබන් කූර ඇතුළු කළ හැකියි. ඒ විදිහට පෑන් බටේ තීන්ත ඉවර වෙද්දි තවත් කාබන් කූරක් ඇතුළු කරන්න පුළුවන්.

මේ පෑන නිර්මාණය කිරීමේදී තමන්ගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් විවිධ ආකාරයෙන් තව තවත් අලංකාරකර ගන්නත් පුළුවන්.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka