මොනරියක් වගේ හැඩවෙන්න මෙන්න ගවුම

මාර්තු 4, 2024

 

ජීවිතයේ ඔබේ මාර්ගය දුෂ්කරතා හා බාධක මඟින් ගොරෝසු වී ඇති නම් සතුටු වන්න. ඔබට එහි වේගයෙන් දිවිය හැකියි. ඉතින් තවත් කාන්තා දිනයක් අත ළඟ. සැබැවින්ම තමන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ඇඳුම් ද ඔබටම මසා ගන්නට හැකි නම් කෙතරම් අගනේද? මුදල් පසුම්බියට ඉමහත් සැනසීමකි. එවන් හැකියාවක් ඇති ඔබ සැබැවින්ම අභිමානවත් කාන්තාවකි.

 

ඔබ රැකියාවක නියුතු කාන්තාවක් නම් විවේකී සති අන්තයේ මේ ගවුම මසා ගන්න. දියණියක් සිටින මවක් නම් ඇයට මේ ගවුම මසා තිළිණ කළ හැකියි. ඇය මොනරියක් වගේ හැඩ කරාවි.

 

අවශ්‍ය මිමි -

 

පපුව දක්වා උස අඟල් 9 1/2

ඉණ දක්වා උස අඟල් 14 1/2

ගවුමේ සම්පූර්ණ උස අඟල් 35

පපුව වට අඟල් 32

ඉණ වට අඟල් 23

කිහිලිකට වට අඟල් 14

අත දිග අඟල් 6 1/2

අත වට අඟල් 6

 

මිමි ගැනීම

උරහිස දෙකට බෙදා උරහිස මිම්ම ලකුණු කරන්න. (අඟල් 14/2 = අඟල් 7) උරහිස මිම්මේ සිට අඟල් 3ක් ලකුණුකර එතැන් සිට පපුව දක්වා උස අඟල් 9 1/2ක් ද ඉණ දක්වා උස අඟල් 14 1/2ක් ද ඉණ පහතට දමන තැන උස අඟල් 15ක් ද ලකුණු කරන්න. දැන් හරහට රේඛාවක් ගසන්න. පපුවට හතරෙන් බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න.

(අඟල් 32/4 + 1/2 = අඟල් 8 1/2 (ආම්හෝල් දිග)

ඉණ වට හතරෙන් බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න.

(අඟල් 23/4+1/2+3/4 = අඟල් 7 1/4 (ඉණ දිග)

 

ඉන් පසුව ඩාට් ඇඳ ගන්න. අංශය හැඩකර ඇඳ ගන්න. කිහිලි කට ඇඳගන්න. කර කපා ගන්න. මැහුම් වාසි තබා කපා ගන්න.

අත සැකසීම

-අත දිග අඟල් 6 1/2ක් ලකුණු කරන්න. කිහිල්ල හරහා අතවට හතරෙන් බෙදා අත සඳහා ඇඳගත් රේඛාවේ ඉහළ කෙළවරේ සිට පහළට ලකුණු කරන්න. එම රේඛාවේ ආම්හෝල් උඩ ලකුණු කරන්න. රැලි සඳහා අඟල් 2 බැඟින් වැඩි කරගන්න. අතට ද මැහුම් වාසි තබා කපා ගන්න]

 

මසා ගැනීම -

පළමුව උරහිස මූට්ටුකර කර පේසින් තබා මසා ගන්න. ඩාට් මසා ගන්න. අත අල්ලා ගන්න. (අත මුදුන රැලිකර ගන්න) අවසානයට සාය කොටස රැලිකර කඳ කොටසට අල්ලා ගන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම්

උපදේශිකා

නිශාන්ති රත්නායක