සැඳෑ සාදයකට කදිම ගවුමක්

පෙබරවාරි 26, 2024

 

ලස්සන ගවුමකින් සැරසිලා ඉන්න කවුද අකැමැති? ඒ ගවුම තමන්ගෙම අතින් මහගන්න ඇත්නම්.... ඒ අභිමානය මෙතෙකැයි කිව නොහැකියි. හැමදාමත් වෙනස්වන විලාසිතා ලෝකයේ නවතම තාලයේ ඇඳුම් ඉතා ඉහළ මිලක් වෙනවා. එබැවින් ඔබේ ආර්ථිකය ගැන සිතන්නත් වෙනවනෙ. කැමැති වර්ණයක රෙදි කොටසක් ගෙන නිදහසේ මසා ගැනීම තමයි අද කාලේ වටිනාම දේ. එහෙනම් එළැඹෙන නිවාඩු දිනයක මේ ගවුම මසා ගන්න. මේ හයිනෙක් කර සහිත ෆ්ලෙයාඩ් ගවුමකි.

 

*උරහිස = අඟල් 13

* කර වට = අඟල් 14

* ඉණ දක්වා උස = අඟල් 16

* උස = අඟල් 42

* පපුව වට = අඟල් 35 1/2

* ඉණ වට = අඟල් 32

*අත උස = අඟල් 17

* කැප් උස = අඟල් 4

* අත අග වට = අඟල් 9

* පතරොමේ අත්කට = අඟල් 10

 

රෙදි කපා මසා ගැනීම

මෙම ඇඳුම සඳහා රෙද්දේ බයස් අත භාවිතකර ඇත. ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයක් ගෙන එය ත්‍රිකෝණාකාරව නවාගන්න. එම නැම්මේ සිට හරහට රේඛාවක් අඳින්න. එය උරහිස ‍ෙර්ඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා සම්මත ලෙස අඟල් 8 ගෙන එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

අත්කටේ සිට වාටියෙන් අවශ්‍ය ප්‍රමාණයට යා කරන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

 

පසුපස

පසුපස සඳහන් ඉදිරිපස ආකාරයටම රෙද්ද නමාගන්න. විවරය පැත්ත ගෙන මැහුම් වාසි අඟල් එකක් තබා රේඛාවක් අඳින්න. ඉදිරිපස පතරොමේ නැම්ම ප්‍රමාණයට තබාගන්න. පසු කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර ඇඳගන්න.

 

අත

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න.නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

මෙලෙස මසා ගන්න.

 

* උරහිස මසන්න.

* කර සඳහා බයස් පටියක් කපා කරට අල්ලා ගන්න.

* පසුපසට සිපරයක් හෝ බොත්තම් අල්ලා ගන්න.

* අත පතරොමට අල්ලන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක