සිඟිති දෝණිට රැලි ගවුමක්

මාර්තු 20, 2023

මලක් වගේ ඉන්න පුංචි දෝණි දඟකාරයි. සුරතල් සිනා නඟන පොඩිත්ති හැඩ කරන්න පහසුවෙන් මසාගත හැකි ලස්සන ගවුම් පොඩිත්තකි මේ. අත් රහිතව, මැසූ ගවුමට ඉණට රැලි යොදා ඇත.

 

අවශ්‍ය මිමි

 

උරහිස, පපුවට, ඉණ දක්වා උස, ඉණවට, සායේ උස

 

මිමි සැකසීම

 

උරහිස දෙකට බෙදා, පපුව කොටස හතරට බෙදා අඟල් එකක් එකතු කරන්න. ඉණ උසට අඟලක් එකතු කරන්න. ඉණ වට හතරෙන් බෙදා අඟල් එකක් එකතු කරන්න. සායේ උසට අඟල් එකක් එකතු කරන්න.

 

මෙම ගවුම සඳහා 45 පළල යාර 1 1/2ක් සාය සඳහා ද, කඳ කොටස (ඉහළ) සඳහා යාර 1/2ක් ද අවශ්‍ය වේ.

 

ප්‍රථමයෙන් රෙද්ද දෙකට නමන්න. එහි නැම්ම මුදුනේ සිට හරහට උරහිස දෙකට බෙදා ලකුණු කරන්න. අත සිට පහළට අඟල් 1ක් පහත්කර උරහිස ඇඳගන්න. නැම්ම මුදුනේ සිට පහළට උරහිස දෙකට බෙදා ඉදිරියට රේඛාවක් අඳින්න. එහි පපු වට හතරට බෙදා අඟල් 1ක් එකතුකර 1 රූපයෙන් දක්වා ඇති ආකාරයට අත්කට හැඩය ඇඳගන්න.

කර පළල ලෙස අඟල් 2 1/2ක් ද ගැඹුර ලෙස අඟල් 4ක් ද වක්‍රවන ලෙස කර හැඩය ඇඳ ගන්න.

කර පළලේ සිට පහළට ඉණ දක්වා උස ගෙන අඟල් 1ක් එකතු කරන්න. ඉණ රේඛාව ඇඳ එහි ඉණ වට හතරට බෙදා අඟල් 1ක් ලකුණුකර අංශය ඇඳ රෙද්ද කපා ගන්න.

කපාගත් පසු එහි හැඩය 2 රූපයෙන් පෙන්නුම් කරයි.

පසුපස කොටස සකසා ගැනීමේදී 3 වැනි රූප සටහනේ පෙනෙන ලෙස බලවාටියේ සිට අඟල් 1ක් ෂිපර් එක ඇල්ලීම සඳහා ඉඩ තබන්න. උරහිස දෙපසින් අඟල් 1 බැඟින් ඉහළට උස්සා නැම්ම මුදුන තෙක් යාකර පසුපස කර ගැඹුර අඟල් 2ක් පහත්කර පසුපස හැඩය ඇඳ ගන්න.

සාය සැකසීමේදී රෙද්ද දෙකට නමා නැවත ත්‍රිකෝණාකාරව නමා 4 වැනි රූප සටහනේ පෙනෙන සාය ඇඳ කපා ගන්න. අවශ්‍ය නම් ඡායාරූපයේ පෙනෙන ලෙස තට්ටු සිටින ලෙස කපා මසා ගැනීමට හැකියි.

 

මසා ගැනීමේදී

 

ප්‍රථමයෙන් උරහිස මූට්ටු කරගන්න. කරට සහ අත් කටට ට්‍රේෂීන් තබා අංශය මසා ගන්න. පසුපසට ශිපරය අල්ලා ගන්න.  සායේ අංශය මූට්ටුකර, කඳ කොටසේ ඉණ වට යට රැලි තබා මසා ගන්න. ඡායාරූපයේ පෙනෙන ලෙස අවශ්‍ය පරිදි අලංකාරකර ගැනීමට හැකියි.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක

 

ඡායාරූපය - ශාන් රූපස්සර