පුංචි තේ කොළ පැකැට් එකකින් ජීවිතේ ලොකුවට ගොඩ දාගන්නේ මෙහෙමයි

ඔක්තෝබර් 16, 2023

සිහින කියන්නේ අපේ මනස තුළ නිර්මාණය වෙන සංකල්පනීය පරිකල්පනයකි. මේ පරිකල්පනය සැබෑකර ගන්න සෑම කෙනෙක්ම විශාල වෙහෙසක් ගන්නවා. තමුන්ගේම පුංචි ව්‍යාපාරයකින් ජීවිතය ජයගන්න අප බොහෝ දෙනෙක් සිහින දකිනවා. නමුත් එය ඒ ආකාරයෙන්ම සැබෑකර ගන්න අප හැමෝටම වාසනාව උදා වෙන්නේ නැහැ. මෙලෙසින් සිහින සැබෑකර ගන්නට නොහැකි වෙන හේතු ගණනාවක්ම තිබෙනවා. සමහරවිට අප ආරම්භ කළ ව්‍යාපාරය පිළිබඳ තිබුණු උනන්දුව නැති වී යෑම. එසේ නැතිනම් නිසි කළමනාකාරීත්වයක් නොතිබීම. ඇතැම් විට ප්‍රාග් ධනයක් නොතිබීමත් එක් හේතුවක්. මේ කුමක් වුවත් අපට පුංචියට ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර රාශියක් තිබෙනවා.

අප මෙවර ඔබට හඳුන්වා දෙන්නේ එවැනි පුංචි ව්‍යාපාරයක් ගැන අදහසක්. තේ කොළ කියන්නේ අපේ රටේ විශාල පාරිභෝජනයක් තිබෙන අප රටේම නිෂ්පාදනයක්. අපේ සෑම ගෙදරකම තේ දිනපතාම පානය කරනවා. ඒ වගේම අපේ රටේ තේ කොළවලට විදේශීව හොඳ ඉල්ලුමකුත් පවතිනවා. ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන ceylon tea කියන්නේ විදේශ රටවල ජනප්‍රියම සන්නාමයක්. මෙලෙසින් නිෂ්පාදනය කළ තේ කොළ පැකැට්කර අලෙවි කිරීම දැන් හොඳ ගෘහස්ථ කර්මාන්තයක්.

මුලින්ම කුඩා පරිමාණයෙන් ආරම්භ කළ මේ තේ පැකැට්කර අලෙවිය සිදුකරන විශාල ආයතන රාශියක් අපේ රටේ තිබෙනවා. ඒ වගේම කුඩා පරිමාණයෙන් ගෘහස්ථව මේ තේ පැකැට් කරා ආයතන සඳහා පැකැට්කර සපයන පුංචි ව්‍යාපාරිකයොත් සිටිනවා. මෙලෙසින් මහා පරිමාණයෙන් තේ පැකැට් කර අලෙවි කරන ආයතන කරන්නේ තමුන්ගේ නිෂ්පාදන හා අමුද්‍රව්‍ය සියල්ලම කුඩා පරිමාණයෙන් පැකැට්කර කුඩා ව්‍යාපාරිකයන්ට සපයනවා. ඉන්පසුව එම පැකැට් ආපසු ඔවුන් විසින්ම ලබා ගන්නවා. මෙසේ ලබාගන්නා විට පැකැට් කරන කුඩා ව්‍යාපාරිකයන්ට ඒ සඳහා මුදලක් ගෙවනවා.

මෙලෙසින් පැකැට් කිරීම සඳහා මුලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දේශීය වශයෙන් තමුන් විසින්ම තේ පැකැට්කර විකිණීම සඳහා නම් යම් ප්‍රාග්ධනයක් ඔබට අවශ්‍ය වෙනවා. තමුන් විසින්ම තේ මිලදී ගෙන එම තේ කොළ අලෙවි කිරීමේිදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා.

1. මුලින්ම ඔබ හොඳ වර්ගයේ තේ තොගයක් හොඳින් නිෂ්පාදනය කරන තේ දලු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් හෝ ආයතනයකින් මිල දී ගත යුතුයි. අප රටේ මෙලෙස තේ දලු තොග වශයෙන් අලෙවි කරන ආයතන හා කර්මාන්ත ශාලා රාශියක් තිබෙන අතර තරගකාරී මිල ගණන් යටතේ ඉතාම විශ්වාසනීය අන්දමින් එය සිදු කරන්න. මෙසේ තේ කොළ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල තේ කොළ විවිධ ප්‍රමිතියෙන් යුතුව පවතී. BOP F1, BOPF2, DUST, DUST NO.1 මේ ආකාරයෙන් වර්ග කරන ලද තේ කොළ වර්ග විවිධ මිල ගණන් යටතේ ඔබට මිලදී ගැනීමට හැකියාව පවතී. මෙහිදී මේ විවිධ ප්‍රමිතියේ තේ කොළ වර්ග ගැන දළ අවබෝධයක් මුලින්ම ඔබ ලබා ගන්න. ඒ සඳහා වෙළෙඳපොළේ පවතින තේ කොළ වර්ග ගැන දළ අවබෝධයක් මුලින්ම ලබාගන්න. එය තරමක් අසීරු කටයුත්තකි. වෙළෙඳපොළේ පවතින නියම ප්‍රමිතියෙන් යුතු තේ කොළ වර්ගවල ප්‍රමිතිය හා එහි නිෂ්පාදන ආයතනය, මිල, නිෂ්පාදිත දිනය ආදී සියල්ල සටහන් වෙයි. නමුත් එලෙස ප්‍රමිතියක් නොමැති තේ කොළ වර්ග කිසිම ලේඛලයක් නොමැතිව පොලිතින් කවරයක දමා අලෙවි කරනු ලබයි.

ඔබ තේ කොළ කර්මාන්තය සාර්ථක ලෙස සිදු කරන්නට සැලසුම් කරන විට මුලින්ම ඉහත කරුණු ගැන සලකා බලන්න. ප්‍රමිතියෙන් තොර බාල තේ වර්ග මිලදී ගෙන ඒවා පැකට්කර විකිණීමෙන් ඔබේ ව්‍යාපාරය ඉතා ඉක්මනින්ම කඩා වැටීමට හේතුවකි. මේ ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කිරීම නිසාම ප්‍රමිතියේ තේ කොළ තෝරා ගන්න. එම තේ කොළ නියම පරිමාවට අනුව පැකැට් කරන්න. මේ සඳහා හොඳින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් මිල දී ගන්න.

 

දෙවැනි පියවර වන්නේ ලේබල් කිරීම හා පැකැට් කිරීමයි. මේ සඳහා මුලින්ම ඔබ ආරම්භ කරන පුංචි ව්‍යාපාරය සඳහා රජයේ ලියාපදිංචි සහතිකයක් ලබාගන්න. එම ලියාපදිංචි සහතික අංකය ද ලේඛලයට ඇතුළත් කරන්න. දැන් ඔබ පැකැට් කරන ලද තේ කොළ වර්ගයේ ප්‍රමිතිය හා මිල ගණන් ඇතුළත්ව හොඳින් සීල්වන ලෙස පැකැට්කර වෙළෙඳපොළට අලෙවි කරන්න.

මෙලෙස තේ කොළ අලෙවි සඳහා හොඳ වෙළෙඳපොළක් සපයා ගැනීම ඊළඟ පියවරයි. මේ සඳහා ඔබ තරගකාරී තේ කොළ නිෂ්පාදන ගැන අධීක්ෂණයක් කරන්න. එසේම ඔබගේ තේ කොළ ගැන ඔබේ සේවාදායකයන් හට විශ්වසනීය භාවය ඇති කරන්න. මුලින්ම මේ කටයුත්ත ඉතාම සුළු පරිමාණයෙන් ආරම්භ කරන්න. පසුව ටිකෙන් ටික ව්‍යාපාරය දියුණු කරගන්න. ටික කාලයකින් ඔබට නිරායසයෙන්ම හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වේ.

 

තේ කොළ අලෙවිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට මිල ගණන් වෙනස් වෙයි. ඒ නිසා ඔබ ප්‍රදේශයේ තේ කොළ සඳහා වූ ඉල්ලුම හා මිල ගණන් ගැන සෑම විටම අවබෝධයෙන් සිටින්න. කිසිම විටක ඔබ අලෙවි කරන තේ කොළවල ප්‍රමිතිය වෙනස් කිරීම සඳහා ව්‍යාජ ක්‍රම අනුගමනය නොකරන්න. ඔබට නියත වශයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත.