සපත්තු මේස් එකෙන් පොත් සාප්පුවක් ගොඩදාන සාස්තරය

ඔක්තෝබර් 30, 2023

පාසල් උපකරණ දෛනිකව සෑම දරුවකුටම අවශ්‍ය වෙයි. පැන්සල්, මකන, කවකටු පෙට්ටි, අභ්‍යාස පොත්, වතුර බෝතල්, කෑම පෙට්ටි, විවිධ වර්ගයේ කඩදාසි කොළ, ගම්, පැස්ටල්, සපත්තු මේස්, කොණ්ඩ කටු, පාසල් බෑග්, ලේන්සු, ඔප කඩදාසි මෙවැනි උපකරණ රාශියක් දරුවන්ට පාසලට ගෙනයන්න වෙන අවස්ථා තිබෙනවා. මේ වගේ පාසල් උපකරණ අලෙවි කරන විශාල කඩ සාප්පු ප්‍රමාණයක් රටපුරා අප දැක තිබෙනවා. මේ උපකරණ විකුණන කඩ සාප්පු ආරම්භ කරන්නේ විශාල ප්‍රාග්ධනයක් යොදවලා. හැබැයි මේ වගේ විශාල පිිරිවැයක් යොදා ආරම්භ කරන කඩ සාප්පු අතුරින් දීර්ඝ කාලයක් වෙළෙඳාම කරන්නේ ඉතාම අඩු පිිරිසක්. මෙවැනි පාසල් උපකරණ විකුණන කඩයක් ආරම්භ කිරීම කාන්තාවකට ඉතාම පහසුයි. ඒ වගේම මේ ව්‍යාපාරයෙන් හොඳ ලාභයක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. 

ඒ නිසාම මෙවැනි පාසල් උපකරණ අලෙවි කරන යුවතියන් කිහිප දෙනෙක් අප පසුගිය දිනවල හමුවුණා. ඒ අතුරින් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක් යුවතියකගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගන්න අප සිතුවා. ඇගේ නම චලනි කුමාරසිංහ. හංවැල්ල ප්‍රදේශයේ කුඩා පාසලක් අසල පදිංචි චලනි පුංචි ව්‍යාපාරයක් ලෙස පාසල් උපකරණ විකිණීම ආරම්භ කළේ ඉතාම සුළුවෙන්. වසර තුනක් වැනි කාලයකින් ඇය සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත් වෙලා. දැන් ඇයගේ සාප්පුවේ සේවිකාවන් දෙදෙනකුත් සේවය කරනවා. අභියෝග රැසක් මැද ඉතාම අපහසුවෙන් පුංචි ප්‍රාග්ධනයකින් ආරම්භ කළ ඇගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන ඇය අව්‍යාජ ලෙස අපට සඳහන් කළේ මෙලෙසිනි.

‘අපේ සාප්පුව මුලින්ම පටන් ගත්තේ ඉතාම සුළුවෙන්. ඇත්තටම කිසිම ප්‍රාග්ධනයක් තිබුණේ නැහැ. පසුගිය කොරෝනා කාලේ අපේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. නමුත් දැන් සාමාන්‍ය වෙළෙඳාමක් තියෙනවා. අපේ ගෙදර ඉදිරිපස පුංචි කාමරයක් තමයි සාප්පුවට ගත්තේ. ඒ නිසා ලොකු මුදලක් ඒකට ගියේ නැහැ. අපේ සාප්පුව පිරෙන්න බඩු තිබුණේ නැහැ. දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ තමයි අලෙවි කළේ. මේ උපකරණ අලෙවිය අතරේ මම දරුවන්ට වඩාත් වැදගත්වන දේ ගැන හිතුවා. අපේ ගෙදරත් දරුවෝ ඉන්න නිසා මම ඒ අයට අවශ්‍ය දේ ගැන මුලින්ම හිතුවා. දරුවන්ට පාසල් උපකරණ වගේම තවත් අවශ්‍යම වෙන්නේ සපත්තු මේස්, යට ඇඳුම් කොණ්ඩ කටු වැනි දේ. මෙවැනි දේ ඉතාම ලාභයට ගන්න පුළුවන් ස්ථාන ගැන මුලින්ම දැන ගත්තා. කොළඹ පිටකොටුවේ තමයි වැඩි ප්‍රමාණයක් මෙවැනි උපකරණ අලෙවි කරන්නේ. අපි ඉතා සුළු ප්‍රමාණයක් තොග වශයෙන් කොළඹ පිටකොටුවෙන් ගෙනාවා. ඉන්පසුව අපේ සාප්පුව ඉදිරිපස පොඩි බෝඩ් එකක් දැම්මා. දරුවන්ගේ මේස්, බැනියම්, යට ගවුම්, ඉතාම අඩුම මිලට විකිණීමට තියනවා කියලා. මේක දැකපු අම්මලා කිහිප දෙනෙක් ඇවිත් අපේ සාප්පුවේ තිබුණු සපත්තු මේස්, බැනියම්, ගැහැනු දරුවන්ගේ යට ගවුම් වැනි දේ මිල දී ගත්තා. මේ පණිවුඩය හරි ඉක්මනින්ම මවුපියන් අතරේ පැතිරුණා. අපේ ගේ ළඟ තියෙන්නේ දරුවෝ තුන් හාරසියයක් විතර ඉන්න පුංචි පාසලක්. නමුත් අපේ බඩු ලාභයි හොඳයි කියලා දැනගෙන පිට පළාත්වල දරුවන්ගේ අම්මලත් අපේ සාප්පුවට එන්න පටන් ගත්තා. මේ එන අය සමහර විට පොත්, පැන්සල්, පෑන් වගේ දේවල් මිල දී ගත්තා. ඒ පාසල් උපකරණ ගත්තු අය අපේ සාප්පුවේ උපකරණ ලාභයි කියන පණිවුඩය ඉතාම ඉක්මනින් ඒ අයගේ යාළුවන්ටත් දුන්නා. මාස දෙක තුනක් යනකොට අපේ සාප්පුව ගැන අම්මලාට විශාල විශ්වාසයක් ඇති වුණා. 

මේ ආකාරයෙන් ආරම්භ කළ හංවැල්ලේ චලනිගේ ව්‍යාපාරය මේ වනවිට ඉතාම සාර්ථක වී තිබේ. ඉතාම සුළුවෙන් ව්‍යාපාරය ආරම්භ කළ චලනි දැන් පොත්පත්වලට අමතරව විවිධ රස කැවිලි, අයිස් ක්‍රීම් හා සෙල්ලම් බඩු ද මෙහි අලෙවි කරයි. ඒ සියල්ලටම අමතරව ඇය ඉතා අඩු මුදලට දරුවන්ගේ ඇඳුම් පැළඳුම් අලෙවියෙන් ද ආදායමක් උපයයි. තවද පොටෝ කොපි යන්ත්‍රයක් මෙහි තිබේ. මේ සියලු දේ ඇය ක්‍රමවත්ව සැලසුම් සහිතව කරගෙන යනු ලබන්නේ ඇයගේ නිවෙසේ දෛනික කටයුතු ද සමඟිනි.

ඔබට ද මෙවැනි ව්‍යාපාරයක් ගැන සිතන්නට මෙය කදිම ආදර්ශයකි. විශාල මුදලක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කිරීම වෙනුවට පුංචිම තැනින් ආරම්භකර සාර්ථක ගමනක් යන්නට චලනි මෙන් ඔබත් සිතන්න. ඔබ අවට ලෝකය ගැන හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට ද හොඳ ව්‍යාපාරයක හිමිකාරියක් වීම සිහිනයක් නොවුන ඇත.