ඉහළ ඉල්ලුමක් ඇති ලී මල් රඳවන

ජනවාරි 29, 2024

අපි හැමෝම ජීවත් වෙන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක. ඔව්! අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. ඔයත් ආසයි දවසක ඉෂ්ට කරගන්න, හීන දකින ඒ ලස්සන බලාපොරොත්තු. අත් හරින්න එපා, වැටෙන තැන් එයි. අමාරු තැන් එයි. ඒ හැම අසීරු අවස්ථාවකම මතක් කර ගන්න ඔයාගේ හිතේ තියෙන ලස්සනම හීනය. මතක් වෙද්දිත් සතුටක් දැනෙන, හැබෑකර ගන්න මහන්සි වෙන ඒ බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරන්න.

විශ්වාස කරන්න ඔයා ඔයාගේ හිතේ හයිය. එතකොට කිසිම කෙනෙක්ට කිසිම දෙයකට ඔයාව වට්ටන්න බැහැ. ඔයා තරම් ඔයාගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙන කෙනෙක් කොහේවත් නැහැ. අපි හැමෝම අපේ හීන පස්සේ දුවන ගමන් ඉන්න මේ ගමනේ කාලය අපතේ යවන්න නම් එපා.

වියළි මලින් ජීවිතයම ලස්සන කරගන්න මං පෙත් විවර කරනුයේ ඔබේ ඒ හීනයට අත්තටු දීමටයි.

අද අපි ඉතාමත් ලෙහෙසියෙන් හා පහසුවෙන් මල් රැඳවුමක් සාදා ගන්නා අන්දම බලමු.

මේ සඳහා වඩාත් ගොරෝසු බවක් නොමැති ලීයක් තෝරාගන්න. මෙය වෙළෙඳ පොළේ තවමත් ඉහළ ඉල්ලුමක් පවතින්නකි. මුලින්ම ඇසට ප්‍රියතාවක් ගෙනෙන මෙන්ම සැහැල්ලු බවක් ගෙනදෙන ලී්‍යක් තෝරාගන්න. ඒ සඳහා කුරුඳු ලීයක් හෝ වෙල් ආශ්‍රිත ලීයක් වන වෙල් ආත්තා ලී තෝරා ගත හැකියි. එය කැපීමෙන් පරිසර හානියක් සිදු නොවේ. දැන් මේ ලීය දින හතරක කාලයක් හොඳින් හිරු එළියේ වියළා ගන්න. ඉන්පසු අඟල් 4x4 ප්‍රමාණයේ එකක් ද එසේත් නැතිනම් තමන්ට කැමැති ප්‍රමාණයක ලී කොටස් 4 - 8 ක් කපා වෙන්කර ගන්න. ස්වභාවික වර්ණයෙන් තබා ගැනීමට අවශ්‍ය නම් වාර්නිෂ් පමණක් කළ හැකියි.

මල් සැකසුම ආරම්භ කිරීමට ඩ්‍රයි ෆෝම් කැබැල්ලක් පෙර සකසා ගත් ලී බඳුනේ අඩියට එකතු කර ගන්න. මෙය ස්වභාවික මල් ආශ්‍රිත නිර්මාණයක් නම් වෙට් ෆෝම් කැබැල්ලක් එකතු කරගත හැකියි.

ඔබ දකින මේ නිර්මාණය සිදුකර ඇත්තේ වියළි මල් සහ කෘත්‍රිම මල් එකතුවකිනි. මෙයට බඩ ඉරිඟු කරලේ පොතු, බජිරි සහ ලී කෝටු යොදාගෙන ඇත. ඒවා ඔබේ නිර්මාණශීලී හැකියාව අනුව ඒ මේ අත රඳවා ගන්න.

සැකසුම කාලයක් තබා ගැනීමට අවශ්‍ය නම් වාර්නිෂ් කරගන්න.

උපදෙස්:-
ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී
සමන් ජයලත්

 

ඡායාරූප - ශාන් රූපස්සර