Life bar එක ගොඩ යන්න Juice bar එකක් පටන් ගන්න

පෙබරවාරි 5, 2024

ව්‍යාපාරයක් ආරම්භ කිරීම මේ කාලයේ තරමක අභියෝගයක්. ආර්ථික අතින් අසීරු කාලයක අලුත්ම ව්‍යාපාරයක් පටන් ගැනීමේ දී ඒ වෙනුවෙන් ආයෝජනය කරන ප්‍රාග්ධනය වගේම එයින් අපට ලැබෙන ලාභය ගැනත් හිතන්න වෙනවා. නමුත් ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ලාභ ලැබීම ගැන අවදානමක් තියෙනවා. මෙලෙසින් අවදානමක් ඇති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා අනිවාර්යෙන්ම අපට ලාභ ලැබීමට හැකි පුංචි, පුංචි වෙ‍ෙළඳ ව්‍යාපාර තියෙනවා. මේ අතුරින් විශේෂයෙන්ම කාන්තාවන්ට පහසුවෙන් කළමනාකරණය කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි පුංචි ජූස් බාර් එකක් ආරම්භ කිරීම. මෙවැනි ජූස් බාර් එකක් ආරම්භ කිරීමට පෙර අප සොයා බැලිය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි Juice bar එකක් ආරම්භ කළ යුත්තේ සෙනඟ ගැවසෙන මාර්ගයක් ආසන්න ස්ථානයකයි.

එසේම එම ජූස් බාර් එක ඉතාම ආකර්ෂණීය ලෙස හොඳින් පෙනෙන අයුරින් සකසා ගැනීමද වැදගත්. ජූස් බාර් එකක් සඳහා ශීතකරණයක් තිබීම අනිවාර්ය වෙනවා. එයට අමතර අයිස් ක්‍රීම් මැෂිමක් ද ඔබට මිල දී ගැනීමට හැකි නම් ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක වෙනු පුළුවන්. මෙලෙසින් ජූස් බාර් එකක් ආරම්භ කරන ඔබගේ ව්‍යාපාරය දියුණුකර ගැනීම සඳහා විවිධ වෙ‍ෙළඳ උපක්‍රම යොදා ගැනීමට සිදුවෙනවා. උදාහරණයක් ලෙස ඔබ පාසලක් ආසන්නව හෝ ප්‍රධාන මාර්ගයක් ආසන්නව මෙවැනි ජූස් බාර් එකක් ආරම්භ කළහොත් කෘත්‍රිම බීම වර්ග, අයිස් ක්‍රීම් හා යෝගට් වැනි දෑ අලෙවි කිරීමට අමතරව එම මොහොතේම බීම සකස් කළ හැකි මැෂිමක් තිබීම වාසියක්. විශේෂයෙන් අධික හිරු රස්නය ඇති මේ දිනවල දහවල් කාලයේ මෙවැනි මැෂිමකින් ක්ෂණිකව බීම මිරිකා පලතුරු බීම සකස්කර දීමට හැකි නම් පාරිභෝගිකයින් එයට වඩාත් කැමැත්තක් දක්වාවි. එසේම එම ජූස් බාර් එකේ ඉදිරිපස හා අවට පරිසරය ද හොඳින් පිරිසුදුව තබා ගැනීම ඔබගේ යුතුකමකි. එම ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයින්ට නිදහසේ වාඩි වී තමුන්ගේ කෑම බීම ගැනීමට පුටු කිහිපයක් තිබිය යුතුමයි. එසේම හොඳින් සෙවණ ඇති නිදහස් පරිසරයක් වීමද වැදගත්. බොහෝ විට මෙවැනි ජූස් බාර් එකක් ආරම්භ කිරීමට මූලික උපකරණ මිලදී ගැනීම සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවිය යුතු යැයි ඇතැම්හු සිතනවා. මෙවැනි කාලයක එවැනි වෙළෙඳ ව්‍යාපාරයක් සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙන්න පුළුවන්.

නමුත් එම උපකරණ මිලදී ගැනීම සඳහා සම්පූර්ණයෙන් මුදල් ගෙවීම කළ යුතු නොවේ. ඔබ ශීතකරණයක් හෝ එවැනි උපකරණයක් ගන්නා විට ඔබ ඒ සඳහා සිසිල් බීම වර්ග අලෙවි කරන ආයතනයකට මුලින්ම කතා කරන්න. බොහෝ විට එම ආයතන මඟින් ශීතකරණයක් මුදල් කොටස් වශයෙන් ගෙවීමට ලබා දෙන ක්‍රම පවතිනවා. එවැනි ක්‍රමයකට ශීතකරණයක් ගත්විට ඔබට ඒ සඳහා විශාල මූලික මුදලක් වැය වෙන්නේ නෑ. මෙලෙසින් ආරම්භ කරනු ලැබූ ඔබේ ව්‍යාපාරය දියුණු මට්ටමකට ගෙන ඒම සඳහා එම ස්ථානයේ විවිධ රස කැවිලි වර්ග, බිස්කට්, කිරි ආදී සැම දෙයක්ම ටිකින් ටික විකිණීම ආරම්භ කරන්න. එවිට ඔබගේ ව්‍යාපාර ස්ථානයට පාරිභෝගිකයින් නිරන්තරයෙන්ම පැමිණෙනවා. මෙලෙසින් ඔබ ටික කාලයක් අඛණ්ඩව ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යන විට ඔබේ ජූස් බාර් එක අනිවාර්යයෙන්ම දියුණු වනු නියතයි.