වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නිල්, රතු මල් ගවුමයි ජීවිතයම සරසයි
තාරුණ්‍යය හැමදාමත් හැඩකාර බවට කැමැතියි. ඒ හින්දම අපේ යුවතියන් හැඩ වෙන්නට ලස්සන ලස්සන විලාසිතාවල ඇඳුම් සොයනවා.
එවැනි යුවතියන් වෙනුවෙන් අද අපි හරිම ලස්සන ඇඳුමක් මෙලෙස තිළිණ කරනවා. මේ Fishtail one Sewler Frock එකකි. සැදෑ සාදයකට කදිමයි. විශේෂ දිනයකදී කාර්යාලයට හැඩට යන්නත් පුළුවනි.
අවශ්‍ය මිමි -
*උරහිස = අඟල් 15 1/2
* කරවට = අඟල් 15
*පපුව දක්වා උස = අඟල් 10
* ඉණ දක්වා උස = අඟල් 15
* පපුව වට = අඟල් 38
*ඉණවට = අඟල් 31
* ඔපනැළි අතර පළල = අඟල් 7
*සාය උස අඟල් 35
* දණහිස දක්වා උස අඟල් 18
* උකුළ දක්වා උස අඟල් 7
* ඉණවට අඟල් 31
* උකුළවට අඟල් 38
මිමි ගැනීම
ගවුම නිර්මාණය කිරිමේදි බ්ලවුසය වෙනම කපා ඇත.
බ්ලවුසය සඳහා රෙදි කොටස දෙකට නවා නැම්මට තබාගන්න. අවශ්‍ය නම් පතරොමක් සාදා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්යට යා කරන්න. එය AC වේ.
කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න.එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. පසුපස අවශ්‍ය කර ගැඹුර පහත්කර කර අඳින්න.
E සිට පහතට පපුව දක්වා, ඉණ දක්වා පහත් කර හරහට රේඛාව අඳින්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.
ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකරන්න.
අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.
ඔපනැළි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණු කර K ට යා කරන්න. k සිට අත්කට මැදට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න.
ඉදිරිපස පතරොම තබා පසුපස පතරොම කපාගන්න. පසුපස පතරොම සඳහා සිපර් එකක් භාවිත කරන්න. ඒ සඳහා අඟල් 1ක් මැහුම් වාසි තබා ඉදිරිපස පතරොම තබා කපන්න.
එක් උරහිසක් කපා ඇති හෙයින් ඉදිරිපස හා පසුපස යන පතරොම් දෙකේම කරේ සිට අත් කටට කපන්න. මෙහි ගැඹුර වැඩිපුර කපන්නේ නැති බැවින් එය බලා ඔබට අවශ්‍ය පරිදි කපා ගන්න.
අත
අත සඳහා දිග බෝරිච්ච අත භාවිතකර ඇත. එමෙන්ම අතේ අග කෙළවරට කප් එකක් තබා මසා ඇත. අතේ උස ලකුණු කිරීමේ දී එම කප් උස අඩුකර අත උස ලකුණුකර මූලිකව බෝරිච්චි අත සාදාගන්න.
අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය B E වේ. ED යා කරන්න රැලි සඳහා අවශ්‍ය ඉඩ ඉහළින් හා අංශය තබා බෝරිච්චි අත සාදා ගන්න.
ෆිස්ටෙල් සාය කොටස් කීපයකට නිර්මාණය කළ හැක. කොටස් 2, 4, 6, 8 වශයෙන් කොටස්වලට කැපිය හැකියි.
ෆිස්ටේල් සාය
මෙම සාය නිර්මාණය කර ඇත්තේ කෑලි 6ක් ලෙසටය. ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන පහතට නවා පළල සමාන කොටස් 3කට නවන්න. එවිට කොටස් 6ක් ලැබේ. නැවතත් එය දෙකට නවන්න. එවිට කොටස් 12ක් ලැබේ. නැම්මට නවා තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාව යි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස, දණහිස දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.
ඉණවට ප්‍රමාණය 12න් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.
උකුළවට ප්‍රමාණය 12 බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.
උකුළ පළුවක මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය දණහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය EF වේ.
F ලක්ෂ්‍ය සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. G සිට වාටියෙන් පිටතට අවශ්‍ය හැඩය සඳහා ඉඩ ලකුණු කර දණහිසට හැඩය අඳින්න.
අංශයෙන් කපාගන්න. පතරොම දිගහැර ගත් පසු ඉදිරිපසට කොටස් 3ක් හා පසුපසට කොටස් 3ක් ලෙස ගන්න. කොටස් එකින් එකට මැසීමේදී මැදින් එන කොටස් සඳහා උකුළ හැඩය ඉවත් කර මසන්න.
මැසීම
* ප්‍රින්සස් ලයින් හැඩය මසන්න.
* උරහිස මසන්න.
* කර පයිපින් කරන්න.
* අත අල්ලාගන්න.
* සාය කොටස් මසාගන්න. ඉදිරිපස විවරයක් ඇත. එය තබා මසාගන්න.
* සාය ඉණට අල්ලන්න.
* අංශය මසා වාටිය මසන්න.
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
දිලූෂි දසනායක
ඡායාරූපය - ශාන් රූපස්සර
රූ රටා - නිලක්ෂි ආරියරත්න