මල් ඉත්තක කොළ හැඩ කරමු

අගෝස්තු 28, 2019

ඉතා සුන්දර පින්තාරු කලාවක් වන වන්ස්ට්‍රොක් කලාවෙන් හැඩ ගැන්වුණු බ්ලොසම් මල් ඉත්තකි. අද අප කියාදෙන්නේ මේ මල් ඉත්තේ කොළ පින්තාරු කරන ආකාරයයි.

අපි වන්ස්ට්‍රොක් කලාව සඳහා බුරුසුවට පේන්ට් පුරවා සාදා ගන්නා ආකාරය පිළිබඳ පහදා දුන්නෙමු. එමෙන්ම අපි එහි තවත් පියවරක් ඉදිරියට යමින් නොම්බර 8 පින්සල ආධාරයෙන් කොළ වර්ග කිහිපයක් ඇඳ ගන්නා ආකාරය ද ගෙන ආවෙමු. පසුගිය ජුනි 12 වැනිදා ඉසුරී කලාපයෙන් මෙය පහදා දුන් ආකාරය ඔබට මතක ඇති. එහෙම නම් අපි මෙම කොළ පින්තරු කරන ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් ග්‍රීන්, සුදු, ඩාර්ක් ග්‍රීන් වර්ණ

රෙදි පින්තාරු තීන්ත

නොම්බර 8 පැතලි පින්සලක්

තීන්ත දැමීමට කුඩා පිඟානක්

වතුර

ටිෂූ කොළ

නිර්මාණය කරගන්නා ආකාරය

ඔලිව් ග්‍රීන් සහ සුදු වර්ණ දෙකෙන් බින්දුව බැඟින් පිඟාන දෙපසට දමා ගන්න. දැන් නොම්බර 8 පින්සල ගන්න. පිනසලේ එක් පැත්තකට කොළ වර්ණය ද අනෙක් පැත්තට සුදු වර්ණය ද ගන්න. දැන් පින්සල පිඟානෙහි එහා මෙහා ගෙන යමින් වර්ණ සෙට් කරගන්න. ඉන්පසු රූපයේ පෙන්වා ඇති ආකාරයට පින්සල අල්ලා කොළ වර්ණය උඩට සිටින සේ එක් පින්සල් පහරක් ඇඳ ගන්න. කොළයේ මුදුන තැනට එනවිට පින්සල ඇදට හරවා ගන්න. මෙය එක් පහරකින් ඇඳීය නො හැකියි. කිහිපවතාවක් ස්වාභාවිකව එන ආකාරයට පුහුණු වීමෙන් පසුව එකවර ම නිර්මාණයේ ඇඳ ගන්න.

දෙවනුව යටින් (උඩින් ඇඳී පින්සල් පහරට යටින්) තවත් එක් පින්සල් පහරක් ඇඳ එම කොළයේ එක් පැත්තක් සම්පූර්ණ කර ගන්න. මෙය ද කිහිපවතාවක් පුහුණු වූ පසුව ස්වාභාවික කොළයක පෙනුම ගෙන දෙන ලෙසම ඔබට නිර්මාණය කර ගත හැකියි. ඉන්පසු අනෙක් පස ද ඒ ආකාරයටම ඇඳ කොළය සම්පූර්ණ කරගන්න. කඩා කොළ ඇදීමේදී පින්සලයේ ඔලිව් ග්‍රීන් යෙදූ පැත්තට ඩාක් ග්‍රීන් ස්වල්පයක් ද දමා ගන්න. පසුව එම කොළ ද පින්තාරු කර ගන්න. අපි මෙම පින්තාරුව ඡායාරූප මඟින් පැහැදිලි කර ගනිමු.

 

උපදෙස් - ප්‍රවීණ උපදේශිකා

ශලින්ද්‍රි ආලෝකා

 

2019/08/28 තරුණි බලන්න