ගතේ සවියට වඩා සිතේ සවියෙන් වැඩකර කාගෙත් හිත් දිනූ වඩු අක්කා

ගාල්ලේ ශ්‍රියානි...
මැයි 19, 2021

 

ඇය ගස් සමඟ පොර බැදුවා ය. ඒ ආසාවකට නොවේ. තම ජීවන අරගලය දිනීමට නම් ඇයට එය කරන්නට ම සිදු විය. තම ජීවනෝපාය සඳහා විවිධාකාර ක්ෂේත්‍රයන්හි නිරතව සිටිය ද ඇය තම ජීවනෝපාය සඳහා ගැහැනියක තෝරා නොගන්නා ක්ෂේත්‍රයක් තෝරා ගත්තා ය.

 

වඩු වැඩ ගැහැනියකට යෙදීමට අසීරු වෘත්තියක් වන්නේ බරැති කොටන්, ලී සමඟින් හරි හරියට ඔට්ටු වීමට සිදු වන බැවිනි. එහෙත් ගතේ සවියට වඩා සිතේ සවියට ඉඩ දුන් ඇය ගමේ හැමගේම ආදරය දිනූ වඩු අක්කා ය. නැතිනම් ශ්‍රියානි සිරියලතා ය.

ආදරණීය දරුවන් දෙදෙනකු පෝෂණය කොට අධ්‍යාපනය ලබා දීමට මේ රැකියාව ඇයට සවියක් විය. අප ඇය සොයා ගියේ ඇගේ ජීවිත අත්දැකීම් ජීවිතය දිනීමට බලා සිටින, විවිධාකාර දේ නිසා පසුබෑමට ලක්ව සිටින ඔබට ද යම් දිරියක් ලබා දීමට සමත් විය හැකි හෙයිනි. මේ නිසා අපි ගාල්ල, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය සොයා ගියෙමු.

ඇගේ නිවෙස සොයා යන විට වඩු අක්කාගේ වඩු මඩුව කොහේදැයි විමසූ විට පාර සොයා ගැනීම අසීරු නොවිණි. ඉඩමට ඇතුළු වූ විට එය සුන්දර පරිසරයක් මවා පාන්නේ ඇය එහි ඉඩකඩ නිසි සේ භාවිතයට ගෙන ඇති නිසයි. තරමක් විසල් වඩු මඩුව ඉඩමේ එක් කොනක ඉදිකර ඇත. එයට විරුද්ධ පසින් නිවෙස ද ඒ අතරමැද ඉඩ ඇති කොටසේ කොටන් ද ගොඩගසා තිබේ. වඩු මඩුවේ ම කොටසක කුඩා කාමරයක් සකසා ඇති අතර එහි පොත් පත් තබා ඇත. වඩු මඩුවේ කොටසක වැඩ නිමවා ඇති ෂූ රැක්, ටවල් රැක්, වීදි පුස්තකාල සඳහා සැකසූ කුඩා පුස්තකාල කුලුනු, පුටු ආදිය තබා ඇත. අනෙක් පස වඩු මඩුවේ යන්ත්‍ර සූත්‍ර තබා භාණ්ඩ නිෂ්පාදනය කරයි.

වත්ත වටේටම මඤ්ඤොක්කා, එළබටු, කංකුං, මෑ කරල් ආදී බොහෝ දේ නිවෙසේ පරිභෝජනයට සෑහෙන පමණින් වගා කොට ඇතත් ඒවා තරමකට වල් බිහි වී ඇත.

තමාගේ මේ කුඩා රාජධානියට ඇය අපව සාදරයෙන් පිළිගත්තේ නිවෙසට ගොඩවන්නට ඇරැයුම් කරමිනි.

‘‘අද තරුණී පත්තරෙන් එනවා කියපු නිසා තමයි මම ගෙදර හිටියෙ.. නැත්නම් සිවිලිමක් ගහන්න යන්න හිටියෙ.‘‘ ඇගේ වදන් හෘදයාංගම ය.

 

 

දුවට මේ දවස්වල නිවාඩු නේද?.

‘‘එයා වඩු මඩුවෙ වැඩ..‘‘ ඇය පැවසුවේ සිනාමුසු මුහුණිනි.

 

ඉතිං අපි කැමැතියි ඔයාගේ තොරතුරු දැන ගන්න.. කොහොමද වඩු වැඩ කරන්න කැමැත්තක් ඇති වුණේ.

‘‘මුලින් ම කියන්න ඕනේ මම මේ ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි. මගේ ගම කොළඹ වැල්ලම්පිටිය. සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ.. මම ඉගෙන ගෙන තියෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. මගේ අයියලා තුන්දෙනායි තාත්තයි ඔක්කොම නවලෝක ලී මෝලෙ තමයි වැඩ කළේ.. මගේ මහත්තයත් වඩුවැඩ දන්න කෙනෙක්. ඉතිං මම වයස 22 දී විතර මහත්තයත් එක්ක එකතු වෙලා වඩු මඩුවක් දාලා වැඩ කරන්න පටන් ගත්තා.‘‘

 

ගාල්ලට ආවෙ කොහොමද?

සුනාමිය කාලෙ නුගේගොඩ කම්පැනි එකකින් සුනාමි ගෙවල් හදන කන්ට්‍රැක්ට් එකක් ගත්තා. ඒකෙදි හික්කඩුවෙ, තෙල්වත්ත ප්‍රදේශයේ ගෙවල් 61 ක් හැදුවා. තවත් වැඩ කරන අය දාලා තමයි මම ඒ වැඩේ කරගෙන ගියේ. ඒ ගෙවල් හදන කාලේ මාව මිනිස්සු අතර ටිකක් ප්‍රසිද්ධ වුණා. ඒ නිසා මට පාසල්වල වඩු වැඩ කරන්න ලැබුණා. ඇත්කඳුර - සීවලී විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය වගේ පාසල්වල වගේම ගාල්ල කොන්වන්ට් එකේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල හදනකොට ඒකේ සම්පූර්ණයෙන්ම උළුවහු, ජනෙල් වගේ සියලුම වඩු වැඩ වගේම ලොකු ඉස්කෝලේ සිවිලිම ගහන වැඩේත් ලැබුණෙ මට. සංඝමිත්තා විද්‍යාලයේත් නේවාසිකාගාරය අලුතෙන් හදනවිට ඒකේ මම වැඩ කළා. විද්‍යාලෝක විද්‍යාලය, ඇලෝෂියස් විද්‍යාලය, අනුලා දේවි විද්‍යාලය වගේ ගාල්ලේ බොහෝ පාසල්වල මම වැඩ කරලා තියෙනවා.

ඒ අතරින් වැඩ කරපු හපුගල ඉස්කෝලේ මට ගොඩක් වැදගත්. මොකද කොළඹින් ආවට පස්සෙ මගේ දරුවො දෙන්නා ගියේ හපුගල ස්කෝලෙට‍. ඒ දෙන්නා ඒ පාසලේ හොඳින් ඉගෙන ගත්තා. දුව අරුන්දිකා සෙව්මිණි දම්මුල්ල. එයා සාමාන්‍ය පෙළ සමත්වෙලා සවුත්ලන්ඩ් විද්‍යාලයට ගියා. ඒකෙන් උසස් පෙළ ඒ තුනක් එක්ක හොඳින් සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. මම දුවව බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් කෝස් එකටත් දැම්මා.

මගේ පුතා උසස් පෙළ කරන්න හිටියත් එයා දෙසැම්බර් මාසෙ සිද්ධ වුණ අනතුරකින් අපෙන් ඈත් වුණා‘‘ ඇගේ හඬ බිඳී දෑස් කඳුළින් දිළිසේ.. අම්මා පසෙක හිඳ කතාව අසා සිටිනා දියණියගේ වත ද ශෝකයෙන් ඇකිළිණි.

 

 

ගාල්ලට ඇවිත් මේ දේවල් තනියම ගොඩනගා ගත්තෙ කොහොමද?

‘‘මම කාටවත් අතපාන්න කැමැති කෙනෙක් නෙවෙයි. වඩුවැඩ කළාට එදා කරන වැඩේට එදාම සල්ලි හම්බවෙන්නේ නෑ. ඒත් මෙහෙදි ගස් කපන්න වගේම ලී ගන්න එන අයගෙන් මට එදිනෙදා ගානක් හම්බ වුණා. මහත්තයා කොළඹ හිටියත් මම ගාල්ලෙ මගේ ව්‍යාපාරෙ කරගෙන ඉදිරියට යනවා කියලා හිතුවා. ගස් කපන දවසට ඒ අයත් එක්ක වැඩ කරනවා. අනිත් දවසට වඩු මඩුවෙ වැඩ කරනවා.

මම දැන් ඉන්න මේ ඉඩම මම කුලියට ගත්ත එකක්. මුලින් මට ගොඩක් ප්‍රශ්න ආවා. ලී මඩුවක් දාන්න මම මුලින් ම ගිහින් පර්මිට් එකක් ගත්තා. මම මේකෙ ලී මඩුව දැම්මෙ ඊට පස්සෙ. ගමේ සමහර අය මට විරුද්ධව පැමිණිලි කළත් පර්මිට් එක තිබුණ නිසා මට ඉදිරියට මේක කරගෙන යන්න පුළුවන් වුණා. මම පස්සට යන්න කැමැති කෙනෙක් නෙවෙයි, මොන ප්‍රශ්නෙ ආවත් මම ඉස්සරහට ම යනවා. මම දරුවන්ට කිසිම අඩුපාඩුවක් කළේ නෑ.‘‘

 

දරුවො දෙන්නත් එක්ක මේ වැඩ කළේ කොහොමද?

‘‘මෙහේ එනකොට දරුවො දෙන්නා පොඩියි. මේ පරිසරයේ දරුවො හදන්න මම කැමැති වුණේ නෑ.. මොකද මෙතන නිතර මිනිස්සු ගැවසෙන තැනක්. මට දරුවො ගැනම අවධානය තියාගෙන ඉන්නත් අමාරුයි. අනෙක මේ වැඩ කරද්දි මම මේ මිනිස්සු එක්කත් ගැවසීම කරන්නම ඕනේ. ඒ නිසා මම විශ්වාසවන්ත තැනක දරුවො දෙන්නා බෝඩ් කළා. එයාලා එහේ ඉඳන් හොඳින් පාඩම් වැඩ කළා. දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ටීචර්ලා පවා මගෙන් ඇහුවා ශ්‍රියානි ඔයා කොහොමද මේ දෙන්නා මේ තරම් හොඳට හැදුවෙ කියලා..

කොරෝනා නිසා තමයි මේ දෙන්නා වැඩියෙන් ගෙදර රැඳුණේ.. ඒ නිසා තමයි පුතා නැති වුණේ.. ඒත් මොනව කරන්නද එයා පෙර කර්මයක් කරලා තියෙන්න ඇති.. එයා ගෙනාපු ආයුෂ තමයි.‘‘

ඇය පැවසුවේ දිගු සුසුමක් වා තලයට මුසු කරමිනි. එය මගේ ළයට බරක් එක් කළ ද මේ ගැහැනිය සතු උපේක්ෂා සහගත බව ගැන එම සුසුම සාක්ෂි ය.

‘‘දුව චාර්ටඩ් එග්සෑම් කරනවා. මේ යන්නේ එයාගේ දෙවෙනි අවුරුද්ද. එයාට ඒකෙන් ශිෂ්‍යත්වයකුත් ලැබුණා. දැන් දුව මගේ වඩු මඩුවෙ වැඩ කරනවා. ඒ වෙනුවෙන් මම එයාට දවසකට රුපියල් 1000 ක් විතර දෙනවා. එයා ඒවා එයාගේ කැම්පස් එකේ වියදම්වලට ගන්නවා. දුව එයාගේ වැඩත් කරගන්න ගමන් මටත් උදවු කරනවා. මගේ දැන් බලාපොරොත්තුව දුවව අධ්‍යාපනයෙන් මට පුළුවන් ඉහළම තැනට අරන් යන එක තමයි.‘‘

 

ගමේ අය දැන් ප්‍රශ්න දාන්නෙ නැත්ද?

‘‘මට මුලින් ගමේ අය එක එක ප්‍රශ්න දැම්මා. ඒත් මම කොහොම හරි ඒ ප්‍රශ්න විසඳගත්තා. මම කාටවත් වෛර කළේ නෑ. ගමේ පන්සල තමයි හපුගල පන්සල. පන්සලට මම ගොඩක් උදවු කළා. පොදු ස්ථානවල කරන වැඩවලට මම සල්ලි ගන්නෙ නැහැ. මොකද ඒ දේවල් අපි හැමෝම පරිහරණය කරන දේවල් නිසා. හපුගල පාසලේත් මම වැඩ කළා. මම කවුද කියන එක ගමේ මිනිස්සු ටික ටික දැන ගත්තා. එයාලා දැන් මාත් එක්ක එකතුයි. පන්සලේ හාමුදුරුවො පවා මට කියන්නේ වඩු අක්කා කියලා. ගමේ ගහක් වැටිලා තිබුණොත් මට වෙලාවක් නොබලා කතා කරනවා. ඒ එයාලට මම උදවු කරයි කියන විශ්වාසය තියෙන නිසා. මම මේ වෙනතෙක් එයාලත් එක්ක සහයෝගයෙන් හිටපු නිසා. දැන් දුවත් කොළඹ ඉන්න නිසා මට කොළඹ යන්න පුළුවන් වුණත් මම තව කාලයක් මෙහේ ඉන්නවා. මගේ කියන දෙයක් ගොඩනගාගෙන ඒක දියුණු කරගන්න එක තමයි මගේ බලාපොරොත්තුව. මම ආපස්සට හැරෙන්න කැමැති නෑ. කොයිතරම් කරදර ආවත් ඒවා හිතට ගන්නෙ නෑ.. මට යන්න තියෙන ගමන මම යනවා. මම නවතිනවා නම් නවතින්න තිබුණේ මීට ඉස්සර, මට ගොඩක් ප්‍රශ්න ආපු කාලෙ. මම දුවටත් කියලා දීලා තියෙන්නේ ජීවිතේ කවදාවත් කරදර ආවා කියලා තමන් යන ගමන නවත්තන්න එපා, අධෛර්ය වෙන්න එපා කියලයි.

වඩුවැඩ කරනවා කියන්නේ ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. තමන්ගෙම දෙයක් නිසා කාටවත් ඔලුව නවන්න ඕනෙ නෑ. මගේ අතේ මගේ වුවමනා එපාකම් පිරිමහගන්න ප්‍රමාණයට මුදල් තියෙනවා. මම දුවටත් කියලා තියෙන්නේ නිතරම නිහතමානී වෙන්න කියලා. කැම්පස් ගිහින් ඉගෙන ගත්තත් ලොකුකම් හිතට ගන්න එපා කියලා. මගෙත් ඒ දේවල් නෑ.. දුවත් එහෙම යි.‘‘

 

තමන්ගේ අත්දැකීමෙන් අනිත් කාන්තාවන්ට කියන්න දෙයක් තියෙනවද?

‘‘මම හැමෝටම කියන්නේ තමන් කරන දේ හරියට කරන්න. නිතරම සුබවාදී විදියට බලන්න. අනුන් කරන දේ ගැන හොයන්න එපා. සතුටින් ඉන්න. ඉදිරියට ම යන්න. තමා යන ගමන එකම අරමුණක යන්න. එක දෙයක් ටික දවසක් කරලා මේක හරියන්නෑ කියලා යන්නෙ නැතිව තමන් කරන දේ කැපවීමෙන් කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නෙ.

මගේ බලාපොරොත්තුව දුවට හොඳින් උගන්නලා මට ලී බඩු සාප්පුවක්, ෂෝ රූම් එකක් දාන එක.‘‘

ඇය අවසාන වශයෙන් ඇගේ බලාපොරොත්තු, ඇගේ සිහින පිළිබඳ අප සමඟ පැවසුවා ය. ඇය බලාපොරොත්තු වන ඉලක්කයට යාමට ඇයට හැකි වේවා යි තරුණී අපි ද සුබපතන්නෙමු.

 ඡායාරූප -නලින් උඩුගම්පල

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.