අභියෝගවලට මම කවදත් කැමැතියි

ආසියාවම කතා කරන රන් පහරක හිමිකාරිනිය බොක්සිං විනිසුරු ශ්‍යාමලී
මාර්තු 20, 2023

 

සියුමැලි ඇය තුළ වූ යකඩ ගැහැනිය ගැන කතා කරන්නට අද තවත් තර්ක අවශ්‍ය නැත. බොක්සිං ක්‍රීඩාව ලංකාවේ කාන්තාවන්ට අභියෝගාත්මක ක්‍රීඩාවකි.

 

ඒ අභියෝගය ජය ගැනීමට ආත්ම ශක්තියක් යම් ගැහැනියක් තුළ ඇති වන්නේ නම් පිරිමියාට තරම් ගැහැනියට ඔරොත්තු දීමේ, දරාගැනීමේ හැකියාවක් නැතැයි කියන තර්කය පරාජය වනු ඇත. මතවාද තර්ක මැද හැමදාමත් සමාජයේ දෙවැනි තැන හිමි වූ ගැහැනියක ලෙස අභියෝග මැදින් ‍බොක්සිං ක්‍රීඩා වළල්ලට ඇතුළු වූ ඇය සැබැවින්ම ලක් මවට පහළ වූ දිරිය දියණියකි.  

 

තම පාසල් කාලයේ බොක්සිං ක්‍රිඩාව නොකළද පාසලින් නික්ම යෑමෙන් පසුව මාස් හෝල්ඩිං ආයතනයට සම්බන්ධ වී බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණ කොට ආසියානු බොක්සිං සම්මේලනයට ද තේරී පත් වූ ඇය අද අපේ කතානායිකාව වුයේ ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ බැබළෙන තරුවක් නිසා පමණක් නොව තරු දෙක සහිත ලංකාවේ එකම බොක්සිං විනිසුරුවරිය ලෙස බොක්සිං වළල්ලට එක්වූ පළමු කාන්තාව ද ඇය වූ හෙයිනි.  

ලාංකීය බොක්සිං ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ඉතිහාසයට එකතු වූ ඇය මේ වන විට ව්‍යාපාරිකාවකි. බොක්සිං ක්‍රීඩා වළල්ලෙන් වැසුණු ඒ සියුමැලි කතගේ ජීවිතය ගැන කතා කරන්නට අද අපි කතාබහ තුළින් ඉඩකඩ වෙන් කළා. ඇය  ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ.   

 

පසුගියදා ආසියානු බොක්සිං සම්මේලනයේ කොමිෂන් තුනකට ඔබත් ඇතුළු තිදෙනෙක් තේරී පත් වුණා..

 

ඇත්තටම ශ්‍රී ලංකාවේ පළමු ආසියානු බොක්සිං කාන්තාව විදිහට තමයි කාන්තා බොක්සිං සම්මේලනයට තේරුණේ. වෛද්‍ය අරුග්ගොඩ තේරුණේ වෛද්‍ය අංශයෙන්. අනිත් කෙනා හේමන්ත වීරසිංහ. එයා කර්නල් කෙනෙක්. ඒ දෙන්නා හැරුණුකොට කාන්තාවක් විදිහට මාව තේරී පත් වීම මට මහත් ගෞරවයක්. ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා.

 

මේ තෝරා ගැනීම සිදු වුණේ කොහොම ද?

 

මම ශ්‍රී ලංකාවේ තරු දෙකේ බොක්සිං විනිසුරුවරියක්. ඒ වගේම 2021 වසරේ සිට ශ්‍රී ලංකා කාන්තා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපති විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම මම ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක්. ඒ වගේම හිටපු ජාතික බොක්සිං ක්‍රීඩිකාවක්. ජාත්‍යන්තර තරග රැසක විනිසුරුවරියක වශයෙන් මා කටයුතුකර තිබෙනවා. ඒ දේවල් එක්ක මාව ආසියානු කාන්තා බොක්සිං සම්මේලනයට තෝරාගනු ලැබුවා.

 

මේ ගමන එන්න පහසු නොවෙන්න ඇති..

 

මම මාස් හෝල්ඩිං ව්‍යාපාරයට සම්බන්ධ වුණාට පසුවයි බොක්සිං පටන් ගත්තේ. මම ඒ වෙද්දි කරාතේ කළු පටි පළමු පන්තියේ සමාජිකාවක්. නමුත් මාස් හෝල්ඩිං ආයතනයේ කාරාතේ ක්‍රීඩාව තිබුණේ නැහැ. මේ ආයාතනයේ තිබුණේ බොක්සිං ක්‍රීඩාව. ඉතින් රැකියාවක් විදිහට මාස් හෝල්ඩිං සමඟ සම්බන්ධ වුණාට  පස්සේ මම බොක්සිං පටන් ගත්තා. ඒ වෙද්දි මාස් හෝල්ඩිං ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ ඩයන් ගෝමස්. ඔහු ශ්‍රී ලංකාවේ බොක්සිං කොමිසමේ සභාපති. ඔහු ගැහැණු පිරිමි භේදයකින් තොරව ශ්‍රී ලංකාව තුළ බොක්සිං කියන ක්‍රීඩාව ඉහළට ගන්න උත්සාහ කරන කෙනෙක්. මට තේරුම් ගියා මාස් හෝල්ඩිං ආයතනයේ බොක්සිං ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් තියෙනවා කියලා. එතැනින් තමයි මේ ගමන පටන් ගත්තේ.

 

ඇයි මෙවැනි ක්‍රීඩාවක් තෝරා ගන්න හිතුවේ..

 

මට හිතුණේ බොක්සිං කියන්නේ අභියෝගාත්මක ක්‍රීඩාවක් කියලයි. කාන්තාවකට මෙවැනි ක්‍රීඩාවක් කරන්න ආසාව තිබුණත් මඟ පෙන්වන්න කෙනෙක් නැහැ. ඒ නිසා කාන්තාවන් ඉස්සරහට යනවා අඩුයි. මමත් බොක්සිං පටන් ගනිද්දි පානදුරේ යුනිචෙලා කියන ආයතනයේ කිසිම ක්‍රීඩිකාවක් බොක්සිංවලට හිටියේ නැහැ. මම තමයි හිටපු එකම ක්‍රීඩිකාව. ඉතිං මම හිතුවා මොනවාහරි දෙයක් කරනවා නම් හැමෝම කරන දෙයක් කළොත් වැඩක් නැහැ. ඒ නිසා මම වෙනස්ම දෙයක් කරන්න ඕනේ කියලා. ඉතිං මම හිතුවා මාස් හෝල්ඩිං සහ යුනිචෙලා ආයතන වෙනුවෙන් බොක්සිං සෙල්ලම් කරන්න ඕනෙ කියලා.  මම මේ ක්‍රීඩාවෙන් මෙඩ්ල් එකක් ගෙනාවනම් ඒ ගෙනාවේ මේ ආයතනවල නමට. මම හිතුවා මම රැකියාව කරන මේ ආයතනවලට ඒ ගෞරවය ලබා දෙන්න. දැන් බොක්සිං ක්‍රීඩාවට ඇවිත් අවුරුදු 18ක් පමණ වෙනවා. ඒ කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ බොහොමයි.

 

බොක්සිං ක්‍රීඩිකාවකව සිටියදී විනිසුරුවරියක් වෙන්න හිතුවේ ඇයි?

 

මම ව්‍යාපාරිකාවක්. ඉතිං ඒ කටයුතුත් එක්ක ක්‍රීඩාව තුළ දී ද කරන්න පුළුවන් දේවල්වල සීමාවක් තිබෙනවා. ඉතිං මම හිතුවා විනිසුරුවරියක් වෙන එක හොඳයි කියලා. ඕනෑම දෙයක පියවරෙන් පියවර ඉදිරියට යන්නනේ ඕනෙ. ඉතින් මගේ ඊළඟ පියවර වුණේ බොක්සිං විනිසුරුවරියක් වීම. ඉතින් දැනට ශ්‍රී ලංකාවේ තරු දෙකේ එකම කාන්තා බොක්සිං විනිසුරුවරිය මම. බොක්සිං විනිසුරුවරියක් විදිහට නෙදර්ලන්ත අයින්ස්වෝත් කප් තුන් සැරයක් සහභාගි වෙලා තියෙනවා. පැරිසියේ මොන්ටානා කප් එකට සැරයක් සහභාගි වුණා. චීනය, ඉන්දුනීසියාව සහ හන්ගේරියාව යන රටවලටත් විනිසුරුවරියක් ලෙස සහභාගී වෙන්න ලැබුණා.

 

පාසල් කාලයේදී ඔබ කරාතේ ක්‍රීඩිකාවක්...

 

මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල කියන හුම්මානය පිහිටු ගමේ ඉපැදුණු කාන්තාවක්. ඒක හරි සුන්දර ගමක්. නාකුළුගමුව ගාමිණි විද්‍යාලය කියන ජාතික පාසලෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඒ වගේම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක්. පාසල් යන කාලයේදී තමයි මම කරාතේ ක්‍රීඩාවට සම්බන්ධ වුණේ. කරාතේ ක්‍රිඩාවෙන් කළු පටි පළමු පංතියේ සාමාජිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා.

 

 

බොක්සිං ක්‍රීඩාව පැත්තෙන් ඉදිරි කටයුතු මොනවා ද?

 

මම බොක්සිං ක්‍රීඩිකාවකව සිටිය දී මේ ක්‍රීඩාවට යම්කිසි පිරිසක් හිටියා. දැන් ඒ පිරිස තරමක් අඩුවෙලා. ඉතිං මේ ක්‍රීඩාවට ඉදිරියට ගෙන යන්න කාන්තාවන් බලගන්වන්න, අභිප්‍රේරණය කරන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පාසල් මට්ටමට ගිහින් කතා කරන්න. බොක්සිං ක්‍රීඩාවට අලුත් පිරිසක් බිහි කරන්න. කාන්තා බොක්සිං ක්‍රීඩාව ඉහළ නංවන්න පුළුවන් සෑම දෙයක්ම මා ඒ වෙනුවෙන් කරනවා.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර