වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
‘ලංකාවෙම දරුවෝ හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරන එක තමයි මගේ හීනය
පුංචි පැටවුන්ගේ සුරංගනා ලෝකයේ සිහින කුමාරිය Frozen නොසිතූ මොහොතක හරි හදිස්සියේම වේදිකාවට ඇවිදිල්ලා. පුංචි පැටවු එක්ක සිංදු කියනවා. උඩ පනිනවා. සෙල්ලම් කරනවා. නිල්පාට දිගම දිග ගවුමේ එල්ලිලා පොඩිත්තනුත් හරි හරියට ඇයත් එක්ක ඉංග්‍රීසියෙන් කතාබහක. ඇත්තටම කවුද මේ සුරංගනාවිය.
ඇය තමයි රටක් දන්නා හඳුනන නදී ටීචර්. නදීකා මධුවන්ති. අම්මලාට සිංහලෙන් ඉංග්‍රීසි උගන්වන හරි අපූරු ඉංග්‍රීසි ගුරුතුමිය. ඇත්තටම නදී ලස්සනට ගලාගෙන බසින නදියක් වාගේ හරි හැඩට පුංචි පැටවුන්ට ඉංග්‍රීසි උගන්වනවා. මොකද නදී ටීචර්ට ඕනෙ මේ ලංකාවේ ජීවත්වන හැම දරුවෙක්ම හරි ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා බලන්න.
ඉතින් නදී ටීචර් කියන්නකෝ බලන්න ඔයාගේ මේ ඉගැන්වීමේ ආසාව, පුරුද්ද අද ඊයේ ඇතිවුණු දෙයක් නෙවෙයි නේද?
"ඇත්තටම ඔව්. මම පුංචිම පුංචි කාලේ ඉඳන් හරිම ආසයි උගන්වන්න. ඉතින් අම්මාගේ සාරියකුත් පටලවන් ගස්වලට තමයි මම මුලින්ම ඉගැන්නුවේ. ඊට පස්සේ මම 10,11 වාගේ පන්තිවල ඉන්නකොට ගෙදර අවට ඉන්න පුංචි නංගිලා, මල්ලිලා අල්ලාගෙන ඉගැන්නුවා. මම ගණිතය විෂයයට හරිම ආසයි. හොඳටම ඒ විෂයයට දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ගණිතය තමයි වැඩිපුරම කළේ. ඊට අමතරව බුද්ධාගම, සිංහල, විද්‍යාව වගේ විෂයයනුත් කළා."
හැබැයි ඉංග්‍රීසි විෂයය නම් ඉගැන්නුවේ නෑ.
"අපොයි ඔව්. ඒ කාලේ මට ඉංග්‍රීසි කියන්නේ හරියට ග්‍රීක වාගෙයි."
එතකොට කොහොමද මේ විදිහට ඉංග්‍රීසි කතා කරන්න හැකියාව ලැබුණේ.
'මම උසස් පෙළ කළාට පස්සේ මට්ටක්කුලිය HNDE ආයතනයෙන් ප්‍රමාණ සමීක්ෂණ (කොන්ටිටි සර්වේ) ඩිප්ලෝමා එකක් හැදෑරුවා. ඒ සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම අත්‍යවශ්‍යයි. ඉතින් අමාරුවෙන්, වෙර වීර්ය යොදලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ වෙනකොට මම විවාහකයි. මගේ සැමියා සිවිල් ඉංජිනේරුවෙක්. ඉතින් අපි සිංහල කතාබහ සම්පූර්ණයෙන් නවත්තලා හැමතිස්සේම ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඒක හරිම ප්‍රායෝගික වුණා මගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු වෙන්න.'
ඔබ මුල්ම රැකියාව තෝරාගන්නෙත් මේ ඩිප්ලෝමාව හරහා.
‘ඔව්. මම කොන්ටිටි සර්වේ කෙනෙක් විදිහට කෙටි කාලයක් රැකියාව කළා. ඒ වුණාට මගේ හිත ඇතුළේ නලියන්නෙම ගුරුවරියක්නෙ. ඉතින් ඒ රැකියාව අතෑරලා බෙලිඅත්ත තාක්ෂණික විද්‍යාලයේ ගුරුවරියක් හැටියට සම්බන්ධ වුණා. මගේ සැමියාගේ රැකියාවේ ස්වභාවය අනුව ඔහු ලංකාවේ විවිධ පළාත්වල රැකියාවේ යෙදෙනවා. ඒ අනුව මමත් ගාල්ල, මාතර, අනුරාධපුරය, නුවර වාගේ පළාත්වල තාක්ෂණික පාසල්වලට මාරු වුණා.‘
හැබැයි මේ විදිහට රටම දන්න ගුරුවරියක් වුණේ අහම්බයකින්.
‘මගේ ලොකු දූ හරිම සංවේදියි. එයාට ගහලා බැනලා කිසිම දෙයක් කරවන්න බෑ. එයාගේ පෙර පාසල් ගමන හරිම දුක්මුසු ගමනක් වුණා. ‘අම්මේ මම ආස චිත්‍ර අඳින්න. ටීචර්ට ඕනේ මට අකුරු ලියවන්න. ඒක හිර ගෙදරක් වාගේ අම්මේ‘ කිය කියා දරුවා අඬනවා. දරුවාට දිගටම උණ ගත්තා. අපි එයාව වෙන පෙර පාසලකට දැම්මා. ඒකත් දරුවා ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා දරුවව ගෙදර තියාගෙන මමම උගන්වන්න අන්තිමට තීරණය කළා. ඊට පස්සේ මම ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා අවශ්‍ය දැනුමත් ලබා ගත්තා. ඉතින් දුවයි, මමයි හරිම විනෝදෙන් කරගෙන යන මේ වැඩේ වීඩියෝවක් දෙකක් මගේ ෆේස්බුක් ගිණුමටත් දැම්මා.‘
ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි.
එහෙම නේද?
‘කියලා වැඩක් නෑ. පුදුම විදිහට ප්‍රතිචාර ලැබුණා. ඉල්ලීම් ගලාගෙන ආවා. ඒ හින්දා මම යු ටියුබ් එකටත් වීඩියෝ එකතු කළා. ඇත්තටම මට ඕනේ වුණේ මම වාගේම හැම අම්මෙක්ම තමන්ගේ දරුවන්ගේ හොඳම ගුරුතුමී කරවන්න. දරුවත් එක්ක හිනාවෙලා දවසම සතුටින් ඉන්නෙ කොහොමද කියලා මම ඔප්පු කළා.'
ඉංග්‍රීසි අකුරක්වත් දන්නෙ නැති අම්මලා කොහොමද දරුවන්ට ඉංග්‍රීසි කියලා දෙන්නෙ කියන මාතෘකාවට ඔබට ඉහළ ප්‍රතිචාර හිමිවෙනවා.
'ඇත්තටම ඒ මාතෘකාවට පුදුමාකාර ප්‍රතිචාර ලැබෙන්නෙ. ඉංග්‍රීසි බැරි අම්මලාට සිංහලෙන් ඉංග්‍රීසි උගන්වන හැටි මම කියලා දෙනවා. අකුරු ලියන්න, කියවන්න විතරක් නෙවෙයි ගෙදරදී භාවිත කරන වචන, ඒවා නිවැරැදිව උච්චාරණය කරන ආකාරය ගැනත් මම එහිදී කියා දෙනවා. ඒ නිසාමදෝ මන්දා ලැබෙන ප්‍රතිචාර දවසින් දවස ඉහළ යනවා.‘ ඉංග්‍රීසි අකුරක්වත් නොදන්න මවුපියන් වැඩිහරියක් ඉන්න මේ රටේ දරුවෝ හැමෝම ඉංග්‍රීසි කතා කරන එක තමයි මගේ එකම හීනේ.'
සිංහලෙන් ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ පොත් දෙකකුත් ඔබ කළා.
පුංචි දරුවන්ට කියවන්න, ලියන්න, ව්‍යාකරණ මේ හැමදේම ඇතුළත් කරලා මම පොත් දෙකක් කළා. phonics - 01 සහ Phonics - Activity Book කියලා. මේ දිනවල එහි තව පොතක් ලියාගෙන යනවා. මේ පොත් විකුණලා ලැබෙන ආදායම මම යොදවන්නෙ. දුප්පත් පාසල්වල විවිධ කටයුතු වෙනුවෙනුයි. ‘
ඔබේ පුංචි පවුල ගැනත් සඳහනක් කරමු.
‘මගේ සැමියා හසන්ත සංජීව. ලොකු දුව ඔමායා මිහින්දිට අවුරුදු හයයි. චුටි දූ ඔනෙලි විහාරාට අවුරුදු දෙකයි. අපි හරිම සතුටින් විනෝදයෙන් ඉන්න පවුලක්. මම කියන කරන හැමදේටම ශක්තිය වෙන්නෙ මගේ මහත්තයා. ඔහුගෙන් උදවු නොලැබෙන්නෙ මේ කිසිම දෙයක් මට කරගන්න බැරි වේවි. එයාට කොයි තරම් වැඩ රාජකාරි තිබුණත් මගේ වැඩ වෙනුවෙන් කොහොම හරි කාලය හොයාගන්නවා. ඒ නිසා මට මේ හැමදේම හොඳින් ඉටුකර ගන්න හැකියාව ලැබෙනවා.‘
ඡායාරූප - ශාන් රූපස්සර