වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දිරිය දියණී වෛද්‍ය සමිතා සමන්මලී ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගනී
වෛද්‍ය සමිතා සමන්මලී සංවේදී මතකයක් අවදි කරමින් වර්තමානයේ ජාත්‍යන්තරය ජයගත් දිරිය දියණියකි. මීට එකළොස් වසරකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා භූමියේ දී අට්ටාලයක් හිස මත කඩා වැටෙද්දී සමිතා තෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවකි.
ඇය අද බොහෝ දිගු ගමනක් ගොසිනි. අපට සිතන්නට නොහැකි ගමනක් ආ සමිතා ජීවිතයේ තවත් පිටුවක් පෙරළමින් ජාත්‍යන්තරය ජයගත්තේ ක්රීඩාවෙනි. ඇය සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයකි. සමිතා ජීවිතේ අභියෝග මැද උපන් දිරිය දියණියකි. ඒ සිතට වාරුගෙන ඔරු හබල අතට ගත්තේ දිගු ගමනකට මුල පුරන්නටය. අද ඇය සිටින්නේ දකුණු කොරියාවේ සෝල් නුවරය. එහි පැවැත්වෙන ආසියානු පැරා ඔරු පැදීමේ තරගයේ දී ‘කාන්තා කේවල ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට තරම් ශක්තිමත් ඒ දිරි සිතෙහි සැඟව තිබුණේ යෝධ ශක්තියකි.
ජීවිතය කොතරම් ගැඹුරුදැයි කියාදෙන අවාසනාවන්තම සිදුවීමකට මුහුණ දෙන සමිතා ජීවිතයත් මරණයත් අතර වූ සටනින් ජයගත්තේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීමෙනි. එදා ඇය පියවි සිහිය ලබන විට ඇයට හිමිවන්නේ රෝද පුටුවක ගෙවිය යුතු ජීවිතයකි. දහසක් අහිමිවීම් හමුවේ සමිතා වෛද්‍යවරියක වීමේ සිහිනය අත් නොහැරියාය. වාරු නැති දෙපය වෙනුවට දිරි සිත ඇයට වාරු දුන්නාය. අද සමිතා සමන්මලී ප්‍රජා සෞඛ්‍යය විශේෂඥ වෛද්‍යවරියක් වීමේ සිහිනය ජයගත් වෛද්‍යවරියකි.
එතැනින් නොනවතින ඇය තම ජීවිතයෙට විරාමයක් තබන්නට ඉඩ නොතබයි. දෙපයට නොමැති වාරුව දෑතට ගනිමින් හබලක් අතට ගත්තේ ඇය තුළ වූ නිසඟ ක්‍රීඩා කෞෂල්‍ය විකසිත කරන්නටයි. යෞවනයේ බොහෝ දෑ තවදුරටත් වලංගු නොවන බව දැන දැනත් ඇය යෞවනය අත් නොහැරියාය.
2019/11/06 තරුණි බලන්න