වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලෝක වාර්තාවකට සැරකෙන අපේ නිවුන්නු
මවුපිය - දූදරු සම්බන්ධය සේම එකම කුසයක ඉපදුණු සහෝදර, සහෝදරියන් අතර පවත්නා ලේ බැඳීම පුදුමාකාරය. ඒ බැඳීමට එහාගිය තවත් බැඳීමක් ඇත්නම් ඒ එකම මොහොතක, එකම කුසයක පිළිසිඳ, එකට මෙලොව එළිය දකිනා නිවුන් දරුවන් අතරේ පවත්නා බැඳීම පමණි.
ලොව ආකර්ෂණීයම ප්‍රජාව වූ නිවුන් දරුවන් සමූහයක් එකම තැනෙක දී මුණගැහෙන්නට ලැබීමත් සැබැවින්ම අලුත්ම අත්දැකීමක් තැබීමට සූදානම් වන ඒ අපූරු භාග්‍යය අපට හිමිවූයේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ විශේෂ හමුවකදීය. ඒ ලංකා ඉතිහාසයේ නිවුන් ප්‍රජාව පළමුවරට තබනු ලබන ලෝක වාර්තාව පිළිබඳ ඔබට කියන්නටයි.
ශ්‍රී ලංකා නිවුන් ප්‍රජාව වෙනුවෙන් බිහිවූ පළමු සහ එකම සංවිධානය වන ‘ශ්‍රී ලංකා නිවුන් සංවිධානය’ ආරම්භ වන්නේ 1993 වසරේ අගෝස්තු මස 23 වැනි දිනයි. එහි නිර්මාතෘවරියන් වන්නේ උපුලි ගමගේ සහ චමලි ගමගේ නිවුන් සහෝදරියන්ය. මේ රටේ සෑම දිස්ත්‍රික්කයක්ම, සැම ජන කොට්ඨාසයක්ම නියෝජනය කරනා මේ නිවුන් සංවිධානයට දැනට සාමාජිකයෝ 28000 ක් පමණ සම්බන්ධ වී සිටිති. එමෙන්ම ලොව ප්‍රථමවරට නිවුන් නර්තන කණ්ඩායමක්, නිවුන් වාදක මඬුල්ලක්, නිවුන් චිත්රශිල්පී සංසදයක් සේම නිවුන් ක්‍රීඩා සමාජයක් බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ ද මෙම නිවුන් සංවිධානයටයි.
ඔවුන්ගේ අලුත්ම බලාපොරොත්තුව වන්නේ ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගී වන උළෙල පවත්වා ගිනස් ලෝක වාර්තාවක් තැබීමයි. ඒ ලෝක නිවුන් ප්‍රජාවගේ පණිවුඩය වූ ‘ යුදගිනි නිවාලමු ලොවට මනුෂ්‍යත්වය වපුරමු’ යන්න තේමාව කරගනිමිනි.
2020 වසරේ ජනවාරි මස 20 වැනි දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සුවිශේෂී කටයුත්ත සිදු කෙරෙන අතර එදින පෙරවරු 9.00 සිට තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් වාර්තා ගත කිරීම ඇරැඹේ. එදින පස්වරු 7.00 පමණ වනවිට මෙම ගිනස් වාර්තා පණිවුඩය මුළු ලොවටම ප්‍රකාශ කිරීමට නියමිත අතර ඒ සඳහා විදෙස් මාධ්‍ය ජාලා අත්වැල් බැඳගනු ඇත.
එදිනම සවස 6.00 සිට ශ්‍රී ලාංකේය නිවුන් ප්‍රජාවගේ කුසලතා එළිදක්වන නැටුම්, ගැයුම්, වැයුම් සපිරි අපූර්ව සංස්කෘතික උළෙලකින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වර්ණවත් කිරීමට නියමිතයි.
මෙම සුවිශේෂී කටයුත්තට සමගාමීව නොවැම්බර් මස 23 වැනි දින රුක් රෝපණ වැඩසටහනක් කුරුණෑගලදී පැවැති අතර එය නම් කර තිබුණේ ‘ගිනිගෙන දැවෙන මිහිමඬලට නිවුන් ප්‍රජාවගෙන් පිරිනමන හරිත දයාදයක්’ යනුවෙනි.
ඊට අමතරව 2020 ජනවාරි 26 වැනි දින නිවුන් සාම පා ගමනක් නිදහස් චතුරස්‍රය වටා ගමන් කිරීමට නියමිතව ඇත. ‘යුද ගිනිදැල් නිවාලමු ලොවට මනුෂ්‍යත්වය පතුරමු’ යන තේමාව යටතේ යුද්ධයේ කුරිරුබව, බිහිසුණුබව, යුද්ධය තුළින් මතු උපදින ලෝක ප්‍රජාවට සිදුවන්නා වූ අනිටු ප්‍රතිඵල පෙන්වා දීම මෙහි අරමුණ වී තිබේ. මෙම තේමාවට අනුව යමින් දෙස් විදෙස් නිවුන් ප්‍රජාවගේ තෙලිතුඩින් සිත්තම් වූ අපූරු සිතුවම් දැක්මක් ද පැවැත්වීමට නියමිතව ඇත. ඒ ජනවාරි 27, 28 දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේ දී ය.
* නො. 124/D, වලව්වත්ත, 1 වැනි පටුමඟ, අබේරත්න මාවත, බොරලැස්ගමුව.
* https://www.facebook.com/srilanka.twins
දුරකතන - 0704644640/ 0778510282
0774158282/0714713737
ඡායා - අමිත් එස්. සේනාරත්න
නිශ්ශංක විජේරත්න
2019/11/27 තරුණි බලන්න