වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
‘මිසිස් වර්ල්ඩ්’ කිරුළ ලංකාවට හිමිකර දුන් කැරොලයින් ජූරි
ආසියාව රුවැත්තියන්ගේ තෝතැන්නකි. එසේ නම් අපේ රටෙත් රුවැත්තයන්ගෙන් අඩුවක් වෙන්න බැහැ නේද? ඒ හින්දමනේ ජාත්‍යන්තරයේ දී අපේ ළඳුන්ගේ නම් ඉඳහිටවත් කියැවෙන්නේ.
එවැනි සුවිශේෂී අවස්ථාවක් පසුගිය දා අපට උදාවුණා. ඒ වසර 35 කට පසු අපේ පුංචි රටෙන් ලෝක විවාහක රූ රැජනක් බිහිවීම නිසයි. ඇය කැරොලයින් ජූරි.
1984 අවුරුද්දේ අපේ රටේ නම් ජාත්‍යන්තරයේ බබලවමින් රෝසි සේනානායක මේ කිරුළ දිනාගත්තා. ඊටපස්සේ එවැනි තරග නියෝජනය කරන්න අපේ රටේ රුවැත්තියන් සහභාගී වූවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණේ අවුරුදු 35 කට පසුවයි. ඒ නිසාම කැරොලයින් සුවිශේෂී වෙනවා.
රට වෙනුවෙන් දිනූ කිරුළත් අරන් ඇය පසුගිය 10 වැනිදා අලුයම මවුබිමට පැමිණියා. ඒ අවස්ථාවේ ඇය පිළිගැනීම සඳහා නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර විශේෂ රථ පෙරහරකින් ඇයව කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රය වෙත රැගෙන ආවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන්මයි.
27 හැවිරිදි කැරොලයින් වෘත්තියෙන් ඩුබායි හි පෞද්ගලික ආයතනය ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර ඇත. වයස අවුරුදු දෙකක සිඟිති දියණියකගේ ආදරණීය මව වූ ඇගේ ගමනට නිබඳ දිරිය වූයේ ආදරණීය සැමියා නිශාන්ත දීපාල් ය.
කැරොලයින් කිසි දිනෙක නිරූපිකාවක ලෙස කටයුතු කර නොමැති වීම තවත් විශේෂත්වයක්. නමුත් ඇය නිරූපණ ක්ෂේත්රයටත් එම තරගවලට සහභාගී වීමටත් කැමැත්තක් දැක්වූ තරුණියක්. ඇය ඉදිරිපත් වූ පළමු තරගයෙන්ම ලොව ඉදිරියේ ලාංකේය අභිමානය රඳවන්න තරම් වාසනාවන්තියක් වුණා.
මාධ්‍ය හමුවේදී කැරොලයින්, ඇගේ ජයග්‍රහණය පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.
“මම අද මෙතැන ඉඳගෙන ඉන්නේ මම දෙවියන් වහන්සේව විශ්වාස කරන නිසා. දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියා. ඔහු මාව ශක්තිමත් කළා. දෙවියන් වහන්සේ නැත්නම් අද මම මේ තැනට එන්නේ නැහැ.
මගේ සැමියා නිශාන්ත දීපාල්. ඔහු හැම මොහොතේදීම මාව දිරිමත් කළා. මං ගැන විශ්වාසයක් තියාගෙනයි ඔහු මාව මේ තරගෙට යැව්වේ. මගේ සෙවණැල්ල වුණේ ඔහුයි. ලෝක විවාහක රූ රැජන තේරීම් කමිටුවේ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තමයි තරගාවලියේ මගේ සෑම පැජන්ට් එකකටම ඇඳුම් නිර්මාණය කළේ. ඔහු නිහතමානී හොඳ පුද්ගලයෙක්. මට මේ තැනට එන්න ඔහු විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම මාව මේ තරගය සඳහා පුහුණු කළේ නිරූපණ වින්‍යාස ගුරුවරයෙක් ලෙස කටයුතු කරන රුක්මල් සේනානායක. ඔහු ඉතා හොඳින් මාව පුහුණු කළා. තරගාවලියේ දී බොහෝ කටයුතුවලදී මට සහය දුන් අප්සාරි තිලකරත්නටත් මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මාස ගණනාවක් මේ තරගයට පුහුණු වෙලා තරගයට මුහුණ දෙන්න ඇමරිකාවට යන්න ලෑස්ති වෙද්දී මගේ වීසා දෙපාරක්ම ප්‍රතික්ෂේප වුණා. ඇත්තටම අපි කරපු හැමදේම වතුරේ ගියා වගේ දැනුණේ. මේ ප්රශ්නයේදී රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් අක්කා මට උදවු කළා වීසා නැවත ලබාගන්න. ඇය නිසා මට තරගයට යන්න අවස්ථාව ලැබුණා. ඇය නොහිටියානම් මේ කිරුළ වෙන රටකට හිමිවෙන්න තිබුණා.”
අවුරුදු ගණනාවකට පස්සේ ඔබ මේ කිරුළ ලංකාවට රැගෙන එන්නේ.... මොකද ඒ ගැන හිතෙන්නේ..?
ඒක ඇත්තටම තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. කණ්ඩායම් වැඩක්. මං මුලදි කියපු සියලු දෙනාම නිසයි අද මං මේ තැන ඉන්නේ. තරගයට යද්දී මං ලෝක රූ රැජින වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ඒ ආසන්නයටවත් යන්න පුළුවන් වෙයිනේ කියලා හිතුවා.
වේදිකාවේදී ‘2019 විවාහක රූ රැජින වන්නේ කැරොලියන් ජූරි’ කියලා කිව්වාම මොකද හිතුණේ..
මට හුස්ම ගන්න බැරි වුණා. මට ඇඬුණා. මොකද මම මේ තරගයට පුහුණු වෙද්දී ගොඩක් කැපකිරීම් කළා. මගේ රැකියාවෙන් ඉවත් වුණා. සැමියයි, දරුවයි එක්ක ඩුබායිවල ජීවත් වුණේ. තරගයේ පුහුණුවීම්වලට ලංකාවට එන්න සිදු වුණා. මේ තරගය මාස දෙකක කාලයක් පැවතුණා. ඉතින් ඒ එක් එක් පැජන්ට්වලට පුහුණුවීම් කරනවා කියන්නේ පහසු දෙයක් නොවෙයි.
අනික මං අවුරුදු දෙකක දියණියකගේ මවක්. ඇයට අම්මා නිතරම ඕනේ. ඒත් තරගය නිසා සමහර වෙලාවල්වල දී මට ඇය ළඟ ඉන්න බැරි වුණා.
ලංකාව වෙනුවෙන් කිරුළ ගේන්න මෙච්චර කැපකිරීම් කරලා තරගයට සහභාගී වෙන්න කටුනායක ගුවන්තොටුපොළට ලංකාවේ කොඩිය අරන් යද්දි හිටියේ මගේ සැමියා සහ ඉහත මං කියපු පිරිස විතරයි. අඩුම ගානේ ලංකාවේ අය දන්නෙවත් නැහැ මෙහෙම කෙනෙක් විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙනවා කියලා. ඒක කනගාටුවට කරුණක්. අද මේ ලැබෙන සහයෝගය, පිළිගැනීම එදා තිබුණනම් ඇත්තටම හරි වටිනවා.
ඔබ නිරූපණ ක්ෂේත්රයේ දිගටම හිටපු කෙනෙක් නෙවෙයි. ඔබ ක්ෂේත්රයට අලුත්. ආපු ගමන්ම ඔබ ලොව පුරා කතාබහට ලක්වූ චරිතයක් වෙලා....
ඔව්, මම මීට කලින් ෆොටෝ ෂූට් එකකටවත් ඉඳලා නැහැ. ඇත්තටම නිරූපණය ගැන මට කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ වුණාට මං හරි ආසයි ලස්සනට අඳින්න. විලාසිතා කරන්න. ශරීරය හැඩට තියාගන්න.
ඡායා - ශාන් රූපස්සර - ටෙනිසන් එදිරිසිංහ
2019/12/18 තරුණි බලන්න