ලංකාවේ මෙයට පෙර මේ සම්මානය ලැබුණේ අමරදේවයන්ට

- වජිරා චිත්‍රසේන
පෙබරවාරි 19, 2020

ඇය චිත්‍රසේනයන් විසින් දේශීය නර්තන කලාවට දායාද කළ අපූර්වත ම ශිල්පිනියකි. ශ්‍රී ලාංකේය නර්තන කලාවේ කාන්තා භූමිකාව මේ යයි විදහා දක්වමින් ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගත් මුද්‍රා නාට්‍ය ශිල්පිනියයි.

පසුගියදා ඇය ඉන්දියාවෙන් පිදෙන පද්ම ශ්‍රී සම්මානයෙන් බුහුමන් ලැබුවාය. පණ්ඩිත් අමරදේවයන්ගෙන් පසු එම සම්මානය ලැබීමට භාග්‍යය ලැබූ එකම ශ්‍රී ලාංකේය කලා කාරිය ඇය නිසා අද අපේ කතා නායිකාව ඇයයි.

උඩරට නර්තන සම්ප්‍රදායට ලාස්‍ය ආකෘතිය එක් කිරීමෙන් ද තමාගෙන් පසුව සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍ය පරපුරක් දැයට දායාද කරමින් ද ඇය ලාංකේය නර්තන ක්ෂේත්‍රයට විසල් මෙහෙවරක් ඉටු කළාය. වදනින් පවසා නිම කළ නොහැකි වටිනාකම් රැසකින් යුතු මේ කලා ශිල්පිනිය ගැන අටුවා ටීකා පැවසීම පවා විටෙක නුවමනා යැයි සිතෙන තරම් ය. වජිරා චිත්‍රසේන යන නම ඇසූ පමණින් ම ඇය කවුරුන්දැයි දන්නා නිසාය.

කලෙක ඉතා කාර්යබහුල ලෙස තම මෙහෙවරෙහි නියුතු වූ ඇය මේ වන විට තම කාර්ය භාර්යයන් දරු මුණුපුරන්ට පවරා විවේකී සුවයෙන් තම සැඳෑ සමය ගතකරන්නී ය. තරුණ කල පැවැති රූ සිරි තවමත් ඒ මුහුණෙන් විද්‍යමාන වේ. සෙමෙන් පා තබා පැමිණි වජිරාවෝ සිනා මුසු මුහුණින් අප හා පිළිසඳරට එක් වූවාය.

ඇගේ ඇඟිල්ලෙන් අල්ලා රංග භූමියට පිවිසි දූවරු දෙදෙනාගෙන් වැඩිමල් දියණිය උපේඛා ද නර්තනයට ම දිවිය කැප කළ තැනැත්තියකි. මවගේ අඩිපාරේ යමින් උපේඛා හා අංජලී යන දියණිවරුන් දෙදෙනා නර්තනයේ යෙදීමෙන් පමණක් නොනැවතී නර්තනය ඉගැන්වීමෙහි ද යෙදිණි. අදටත් ඔවුන් එහි නියැළෙන්නේ තෙවැනි පරපුර ද ඒ කාර්යයන්ට යොමු කරමිනි.

* ළඟදි ලැබුණ 'පද්ම ශ්‍රී' සම්මානය ගැන මොකද හිතෙන්නේ..

ලංකාවේ මෙයට පෙර මේ සම්මානය ලැබුණේ 2002 වසරේ දී පණ්ඩිත් අමරදේවයන්ට. ඉන්පසුව තමයි එය ලබා දුන්නේ.. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ලංකාවේත් කලා ශූරී, කලා භූෂණ, නර්තන තිලක, දේශ බන්ධු වගේ හැම සම්මානයක්ම ලැබිලා තියෙනවා.

* ඔබ නැටුම්වලට මුලින් ම යොමු වුණේ කොහොමද?

මගේ ගම කළුතර. මගේ අම්මා නැටුම්වලට ගොඩක් කැමැතියි. චිත්‍රසේනගේ නැටුම් දැකලා අම්මට ඕනෙ වුණා මටත් ඒවගේ උගන්වන්න. ඒ වගේම පාසලේ නැටුම් සම්බන්ධ දේවල්වලට නිතර සම්බන්ධ වුණ නිසා ගුරුවරුත් මට කිව්වේ නැටුම් කරන්න කියලා.. අපේ ගෙදර නැටුම් පන්තියක් කරන්න චිත්‍රසේන ආවා. තවත් ළමයි එක්ක මමත් ඒකට සහභාගී වුණා.

අපේ අක්කා මෙඩිකල් කොලෙජ් එකට ඇතුළු වුණාම එයාට නවතින්න තැනක් ඕන වුණා. ඉතිං එයාත් මමත් චිත්‍රසේනලගේ කොල්ලුපිටියේ ගෙදර තමයි නැවතිලා හිටියේ. මම පාසල් ගියේත් එහේ ඉඳන්. ඒ ගමන්ම නර්තනයත් ඉගෙන ගත්තා. බාලිකාවට පස්සේ මම ගියේ මෙතෝදිස්තයට. හොරණ තක්ෂිලාවටත් කාලයක් ගියා.

චිත්‍රසේනගේ තාත්තත් නාට්‍ය කරපු ශිල්පියෙක්.

* තමාගේ අඩිපාරේ යන දූවරු දැක්කම මොකද හිතෙන්නේ..

මට හරිම සතුටුයි. මොකද දැන් මේ කලාව ඉස්සරහට ගෙනියන්න කණ්ඩායමක් ම ඉන්නවා. තාත්තා කියපු දේවල් ඔවුන් දන්නවා. ඒනිසා හරි විදියට ඒ දේවල් කරන්න එයාලට පුළුවන්. මම ගොඩක් ආසයි තජී නටනවා බලන්න.

අපි හදපු පාරේ ඔවුන් යනවා දකිනකොට මේ ක්ෂේත්‍රය දිගට පවතිනවා කියන විශ්වාසයත් තියෙනවා.

* කවදා හෝ දරුවන් මේ කලාවට යොමු කරවන්න ඕනේ කියන හැඟීමක් මුල් කාලයේ තිබුණද?

එහෙම විශේෂ හැඟීමක් තිබුණේ නෑ.. ඒත් උදේ හවා ඒ දේවල් ඇහෙද්දී දකිද්දී ඔවුන් නිරායාසයෙන් ම ඒ වෙත නැඹුරු වුණා. හැම වෙලාවෙම බෙර හඬවල් කණට ඇහෙනවා. ඉතින් එයාලගෙම කැමැත්තෙන් මේවට සහභාගී වුණා.

* විදේශයන්වල මේ නර්තන කලාව ගැන තියෙන ඉල්ලුම මොන වගේද?

මම රුසියාවේ පළමුවෙන්ම නටනකොට පුතාට මාස තුනයි. රුසියාව තමයි මගේ මුල්ම විදෙස් සංචාරය. විදේශ රටවල අය අපේ නැටුම් බලන්න, රස විඳින්න හරි ආසයි. ඒ ගැන ලොකු ආසාවක් ඔවුන් දක්වනවා.

 

ඡායා -  ශාන් රූපස්සර

 

2020/02/19 තරුණි බලන්න