මේ අවස්ථාව මට අභියෝගයක් නොවුණාමත් නොවෙයි

ඔක්තෝබර් 3, 2022

පුංචි තිරයේ ආකර්ෂණය රිදී තිරයේදී ත් නොඅඩුවම ලැබෙනවා නම් එය රංගන ශිල්පිනියෙක් හෝ ශිල්පිනියක් ලබන භාග්‍යයකි.

නයනතාරා වික්‍රමආරච්චි නම් වූ ඇය ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුළ ලැගුම් ගන්නට සමත් වූයේ දෙවැනි ඉනිම මෙගා ටෙලි නාට්‍යයේ 'දෙව්මි' හරහා යි. දෙව්මිගේ චරිතයට පණ පොවමින් සිටි මුල් කාලයේදීම ඇයට සිනමා සිත්තමක ප්‍රධාන චරිතයක් වෙනුවෙන් ආරාධනයක් ලැබේ. ඒ වෛද්‍ය කපිල සූරියආරච්චි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගෙනි.

රඟපෑමේ නොතිත් ආසාවකින් තිර පරීක්ෂණයකට සහභාගි වී චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟන්නට වරම් ලබන තිළිණි, එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ ග්‍රහණයට හසුවීමත් සමඟින් සිදුවන ඛේදනීය ඉරණම කියාපාන සිනමා සිතුවම 'සිනෙමා' යි.

 

ජනතා සම්මාන පිට පිට ලබමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටින රංගන ශිල්පිනියක් වන ඔබේ සිනමා ආගමනය සිනෙමා හරහා සිදුවෙනවා.....

හරිම සතුටුයි. මේ මගේ පළමු සිනමා රූපගත කිරීම. එහෙත් තිරගත වන දෙවැන්න. ඒ වෙද්දි මට අවුරුදු 18 යි. දෙවැනි ඉනිම ආරම්භ වුණෙත් ඒ කාලයේමයි. වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක මහතායි මං ගැන ඩොක්ටර් කපිලට කියලා තිබුණේ. ඩොක්ටර්ට මම ස්තූතිවන්ත වෙනවා, තිළිණි ට ජීවය දෙන්නට මාව තෝරා ගැනීම හා මං පිළිබඳ විශ්වාසය තැබීම පිළිබඳ.

 

මෙහි ඇතැම් දර්ශන ඔබේ වයසට තරමක් එහා ගිය දේවල්, ඔබ ජීවිතයේදී හෝ රඟපෑමකින් නොලද අත්දැකීම්....

මේ අවස්ථා මට අභියෝගයක් නොවුණාමත් නොවෙයි. අත්දැකීම් නොමැති සිද්ධීන් බැරෑරුම් ලෙස රඟන්න සිදුවුණා. නමුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙන නිසා තිළිණි ගේ චරිතය හොඳින් ප්‍රති නිර්මාණය කරන්නට හැකිවන්නට ඇතැයි විශ්වාස කරනවා. මොකද මමත් පුංචි කාලේ ඉඳන් නිළියක් වෙන්න හිතුවා. පසුකලෙකදී එය සැබෑ කරගත්තා. ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම විඳිමින් ගෙවෙන මේ ජීවිතය හරිම සුන්දරයි. සුගමයි.

රූපගත කර වසර 5කට පසුව සිනමාපටය ජනගත වීම සම්බන්ධයෙන් පුංචි කනගාටුවක් නැත්තෙමත් නැහැ.

දෙවැනි වරට රූගත කළ අනුරුද්ධ ජයසිංහ ගේ ‘එක දවසක අපි’ චිත්‍රපටය පළමුව තිරගත වුණා.

එහෙත් කොවිඩ් අර්බුද, අපේ රටට ම ආවේණික වුණු අර්බුද ආදිය නිසා අවුරුදු පහකින් හෝ මේ චිත්‍රපටය එළිදැක්වීම සම්බන්ධයෙන් සතුටුයි.

 

'සිනෙමා' හි තිළිණි ලියැවෙන්නේ ඔබව ඉලක්ක කරගෙන ද?

නැහැ. තිරපිටපත ලියැවෙද්දි මාව දන්නෙත් නැහැ. මාව වන්නිනායක මහතා හඳුන්වා දීමෙන් පසු ඡායාරූප කිහිපයක් බලලා ඒ අනුව තමයි මේ අවස්ථාව ලැබෙන්නේ.

 

ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ යම්කිසි හැදෑරීමකින් පසුව ද?

මායා ශක්ති රංගන ශිල්ප ශාලිකාවේ පුංචි කාලයකුත්, අනෝජා වීරසිංහ මහත්මියගේ 'අභින' ආයතනයේ හැදැරීම් තව අදටත් වරින් වර සිදුවෙනවා. හැමදාමත් හැදෑරීම් කෙරෙන තරමටයි නැවුම් ගමනක් යන්න පුළුවන් වන්නේ. කලාව හැමදාමත් යාවත්කාලීන වන නිසා.

 

ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක් ද?

දැනට ඔව්. එහෙත් ඉදිරියේදී රංගනයත් සමඟින් ව්‍යාපාර කටයුත්තක් සඳහා එක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

 

අවුරුදු 18 වැනි තාරුණ්‍යයේ එළිපත්තේ සිටින වයසකදී ක්ෂේත්‍රයට යොමුවීමත් සමඟින් උසස් අධ්‍යාපන කටයුතු යම් තරමකට මඟ හැරෙන්නට ඇති....

ඇත්තට ම ඔව්. මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා අවසන් වනවාත් සමඟින්මයි මේ ක්ෂේත්‍රයට පා තබන්නේ. ඒ වෙද්දී මම හිටියේ වැලිවේරියේ. දැන් පදිංචි අතුරුගිරියේ. තේරෙන නොතේරෙන කාලේ ඉඳන් රඟපෑමට හිතයි කියලා අම්මා කියනවා.

මේ දවස්වල මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටිනවා. මේ හැදැරීම් පවා අපට රංගන ක්ෂේත්‍රයේ හොඳ පසුබිමක් ඇති කරලීමට ඍජුවම බලපානවා.

 

'සිනෙමා' හි කතාන්දරය ඔබ නියෝජනය කරන සිනමාවට, රංගනයට ම පහර ගැසීමක් නොවේද?

සාමාන්‍යයෙන් සිනමා පටයක් වේවා, ටෙලි සිත්තමක් වේවා බොහෝවිට කාගේ හරි කතාවක් වගේ දෙයක් ප්‍රතිනිර්මාණය වෙන්නේ. සිනමා ක්ෂේත්‍රය ඇතුළෙම ඇති එක් පැතිකඩක් මෙලෙස නිරූපණය වීම ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

මගේ අම්මා, තාත්තා, අක්කා, ආච්චි මේ අයගේ ආශීර්වාදය මට නොඅඩුවම ලැබෙනවා. ඔවුන්ගේ ආදරයත් සමඟින් හරිම සතුටින් ජීවත් වෙනවා.

 

 

ජායාරූපය - නිශ්ශංක විෙජ්රත්න