අද දරුවන් ඉන්නේ ඉමෝජී ස්ටිකර් ලෝකෙක

උඩුගුවනේදී මානුෂීය මෙහෙවරක නියැළි ඇය
මාර්තු 27, 2023

ළමා රෝග විශේෂඥ වෛද්‍ය - මනෝරී ගමගේ

 

දරුවන්ගේ ගතට වැල‍ෙඳන රෝ දුක් පීඩාවන් කෙරෙහි පිහිටට සිටින ඇය කාව්‍යමය ප්‍රතිභාවන්ගෙන් පිරිපුන් තැනැත්තියකි. මුහුණුපොතේ ද හරි හරියට ලියවිලි ගෙනෙන ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ ය.

 

දරුවන්ගේ දුක සැප බලා පෙරළා තම මවුරටට පැමිණෙමින් සිටි මවක් නොසිතූ පරිදි අසනීප වීමත් සමඟින් වෛද්‍යවරියක ලෙස උඩු ගුවනේදී කළ මානුෂීය මෙහෙයුමක් එමඟින් මෑතකදී ඇය වඩ වඩාත් කතාබහට ලක් වුණි. තරුණී පත් ඉරු අතරට ඇයව එක්කර ගන්නට සිතූයේ මානුෂීය බැඳීම සමඟින් හරි හරියට බැඳෙන අපූරුව දුටු නිසාවෙනි.

 

කළුබෝවිල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන ඔබ දරුවන් වෙනුවෙන් සංවේදී වුණු අවස්ථා ඕනෑතරම් ඇති

ඇත්තටම ඔව්. විවිධ ලෙඩ රෝග ඇති, විවිධ ආර්ථික මට්ටම්වල සිටින දරුවෝ රෝහල් වාට්ටුවල ඉන්නවා.

මව,පියා විදේශගත වී හෝ මව, පියා නොමැතිව ආච්චි සියා ළඟ හැදී වැඩෙන ඇතැම් දරුවෝ හරිම අසරණයි.

ළමා වාට්ටුවලදී මම නොසැහෙන්න සංවේදී වන අවස්ථාව තමයි, සාමණේර හිමිවරුන් අසනීප වී රෝහල් ගත කරන අවස්ථාව. සිවුරක් දමාගෙන හිස බූ ගා ගෙන හිටියට ඒ ළමයි කියන දේ විතරමයි මට නම් හැඟෙන්නේ. දරුවෙක් අසනීප වූ විට දී බොහෝ දුරට අම්මෙක් ළඟ ඉන්නවාමයි. අඩුම තරමේ ආච්චි කෙනෙක් හරි ඉන්නවා. ඒ අය කවනවා පොවනවා, ඇඟ සෝදවනවා. අර සාමණේර වහන්සේලා අසල සියයට 99ක්ම ඉන්නේ ඒ පන්සලේම තවත් සාමණේර වහන්සේ කෙනෙක් හෝ ඒ සාමණේර වහන්සේ සමඟ කිසිම සම්බන්ධයක් නොමැති ගමේ විවේකයක් ඇති දායකයෙක් හෝ දායිකාවක් විය හැකියි.

ලංකාවේ බහුතරයක් මහණ වී පිරිවෙන්වල ඉන්නේ බුදු දහම දැන හෝ සසර කලකිරි මහණ වූ අය නොවේ. අවස්ථාව ඇති හැම තැනකදීම මම නම් කියන්නේ නොතේරෙන වයසේ දරුවන්ව මහණ කරන්න එපා කියලයි.

වාට්ටුවලදී මේ අය සාමණේර හිමිවරුන් කියා වෙනසක් නැහැනේ. සිවුරක් දාගත් හිමිනමක් දඟලනවා දුවනවා, පනිනවා දකිද්දී සමහර අම්මලා පැමිණිලි කරනවා. මේ අයව භික්ෂූ වාට්ටුවට දමන්න කියා. මම කියලා තියෙන්නේ නෑ.“ළමයි භික්ෂූ වාට්ටුවේ ඉන්නේ නැහැ. සාමණේවරු ඉන්නේ ළමා වාට්ටුවේ විතරයි“ කියලා.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අම්මලගේ දරුවොත් රෝගී වී රෝහල්ගත වු විට හරිම අසරණයි.

 

ළමා රෝග වෛද්‍ය ක්ෂේත්‍රය කාන්තාවන්ට බෙහෙවින් සමීපයිනේ.

ඇත්තටම ළමා රෝග සම්බන්ධයෙන් වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වන පිරිස් අතුරින් 2/3ක් ම ඉන්නෙත් කාන්තාවෝ. දැන් පිරිමි ළමයි වෛද්‍ය විද්‍යාව කරනවා අඩුයි.

 

ඔබත් දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක්

අපේ කාර්යබහුලත්වය දරුවෝ පුංචි කාලේ ඉඳන්ම දුටුවා. මගේ ලොකු දුව කිවුවෙම මම ඩොක්ටර්ස්ලට ආසා නෑ කියන එක. රෝගීන් බැලීමට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකව සිටින නිසා එතැනදීත් කාර්යබහුලයි. පශ්චාද් උපාධිවලට මුහුණ දෙද්දී අපේ දරුවොත් ඉන්නවා. අපි මහන්සි වෙන අන්දම දැක්කම ඒ අය මේ ජීවිතයට කැමැතිම වුණේ නැහැ. යම් යම් අවස්ථාවලදී දරුවෝ අපෙන් මඟ හැරුණු අවස්ථාත් තිබුණා.

මගේ සැමියා ශල්‍ය වෛද්‍යවරයෙක්. අපේ ලොකු දුව උසස් පෙළට කළේ කලා විෂයයන්. අපි වෛද්‍යවරු වුණු පළියට දරුවන්ට වෛද්‍යවරු වෙන්න ඕන කිවුවේ නැහැ. පොඩි දුව මේ වසරේ උසස් පෙළ කරන්නේ. ඇය ජීව විද්‍යාව විෂයයක් ලෙස හැදෑරුවට එයා කැමැතිත් නැහැ වෛද්‍යවරියක් වෙන්න.

*ලංකාවේ ප්‍රමුඛ පෙළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඔබ අත්කර ගෙන ඇති කීර්තිනාමය කිසිසේත්ම රෝසමල් ඇතිරූ යහනාවක් වෙන්න බැහැ.

මම දේවි බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් 1990 වසරේ උසස් පෙළ කළේ. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය කණ්ඩායමේ පළමු කණ්ඩායමේ මම හිටියේ. 2002 වසරේ ළමා රෝග වෛද්‍ය අංශයේ සිට විශේෂඥ වෛද්‍යවරියක වුණේ 2007 දී.

ළමා රෝහලේ අපි විශේෂ පුහුණුවක් ලැබිය යුතුමයි. ඒ හැරුණු විට දිගටම මම හිටියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේමයි.

මෙවැනි ගමනක් කොහොමත් අතිශය සුන්දර වෙන්නේ නැහැ. එක දිගට අවුරුදු ගණන් නිදිවරාගෙන පාඩම් කරපු කාලවකවානු තිබුණා.

ඔබ රසබර අත්දැකීම් කාව්‍යමය සිතිවිලි බවට පත් කරන්න හපනියක්.

‘ලොක්ඩවුන් සිතිවිලි‘ සහ ‘පතොක් මල්‘ යනුවෙන් සමාජ අත්දැකීම් පදනම් කරගත් කවි සිතිවිලි කෘතින් දෙකක් ලෙසට දොරට වැඩියා.

නූතන දරු පරම්පරාව පිළිබඳ ඔබ විවිධ කතිකාවන්වලදි අදහස් පළ කොට තිබෙනවා.

මේ පරම්පරාවේ දරුවෝ ඉස්සර තරම් සංවේදී නැහැ. ඒ දේට අපිත් වගකිව යුතුයි කියලයි මම හිතන්නේ. දරුවෝ වගේම දෙමාපියනුත් කාර්යබහුලයි. දරුවෝ බැඳීම් ඇති කරගන්න අකැමැතියි. එදා අපි අනුන්ගේ දුක අපේ දුකක් බවට පත්කර ගත් අවස්ථා තිබුණා. දරුවෝ ස්මාර්ට් දුරකතනයෙන් ඉමෝජි එකක්, ස්ටිකර් එකක් දාලා සෑහීමට පත් වෙන්නයි හිතන්නේ.

උඩු ගුවනේදී නොසිතූ මොහොතක හදිසියේම රෝගී වන මවකට පිහිට වන්න ඔබට අවස්ථාව සැලසෙනවා.

ඔව්. මේ මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කරන ගුවන් යානයකදී සිදුවූවක්. ‘වෛද්‍යවරයකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයකු සිටී නම් වහාම කාර්ය මණ්ඩලය දැනුම්වත් කරන්න යනුවෙන් නිවේදනයක් නිකුත් වුණා. මගේ ආසනයට පේළි දෙකක් පමණ පිටුපස අවුරුදු 75ක් පමණ යැයි සිතෙන කාන්තාවක් වේගයෙන් හුස්ම ගන්නවා. මාත් සමඟින් ඔස්ට්‍රේලියාවේ සේවය කරන හෙදියක් ද ඇයට පිහිට වීමට ඉදිරිපත් වුණා.

ඈ පසුව ටිකෙන් ටික ඇගේ විස්තර පවසන්නට විය. වයස අවුරුදු 85ක දරුවන් තිදෙනකුගේ මවක්. දරුවන් බලන්නට ගොස් මාස 3කට පසු ලංකාවට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පාන්නට වුණා. අපිට ඔය රටවල් හරියන්නේ නැහැනේ. ඇය පවසන්නට විය.

දරුවන් දෙමාපියන් බලාගන්නටම ලංකාවේ රැඳිය යුතු නැත. එහෙත් දරුවන් විදෙස්ගත වූ පසු මාපියන්ට සේවා ලබාගත හැකි සක්‍රිය සංවිධානයක්, ක්‍රමවේදයක් තිබිය යුතුමය. ඒ මට හිතෙන හැටිය.