මගේ බලාපොරොත්තුව ලෝකයම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන එක

යෙසඳි හපුතන්ත්‍රී
ජුනි 5, 2023

 

මරදාන නගර  කාන්තාරය කාෂ්ටකව දැඩිවෙමින් පවතින හිරු රැසින් පිරී තිබුණු දහවලකි. ගඩොල් බිත්තිවලින් අලංකාර කරන ලද ගොඩනැගිලි පරිශ්‍රයට අප ඇතුළු වන්නේ ඇය සිටිනා ඉසව්ව සොයමිනි. පෙරදා අප සාකච්ඡා කරගත් පරිදි මේ ළාබාලතම විධායක නිලධාරීවරිය සහ අප හමුවීමට ස්ථානය ලෙස කතිකා කරගනු ලැබුවේ මරදාන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රයයි. ළාබාලතම විධායක නිලධාරිනිය සේම ඇය ඉසව් කිහිපයක තම දස්කම් ප්‍රකට කළ ශූරියක් ලෙස හැඳින්විය හැකිය.

 

කුඩා කළ සිටම කලාව සමඟ ළෙන්ගතු වූ ඇය තවමත් 14 වන වියේ පසුවන්නියකි. අද වනවිට කුඩා දුවා දරුවන් වෙනුවෙන් ඇය තම සංගීත දැනුම බෙදා දෙන්නීය. මෙසේ විවිධ ඉසව් තම අණසකට ගනිමින් දස්කම් පෑ ඈ අප තරුණී කවරය සඳහා තෝරා ගන්නේත් ඇයගේ කතාන්දරය ඔබට කියන්නේත් මේ නව යෞවනියගෙන් තවත් අයකුට ලබාගත හැකි දේ බොහෝ නිසාමය.

දැන් ඈ අප අබියසය. යෙසඳි හපුතන්ත්‍රී ....මේ ඇය කෙටි කලකින් පැමිණි දිගු පුළුල් ගමන ගැන කතාන්දරයයි.

 

අපි මේ කතා බහ ඔබේ කුඩා කාලයෙන්ම පටන් ගනිමු.

 

දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම  මම සංගීතයට ගොඩක්ම ආස කෙනෙක්. මම ඉපදුණේ  ෆීජි දූපත්වල. 2009 වසරේ මගේ තාත්තා සහ අම්මා ජීවත්වුණේ ෆීජිවල. මගේ තාත්තා වගේම අම්මාත් සෞන්දර්යයට ලැදි අය. ඉස්සර තාත්තා කියනවා අමරදේව මාස්ටර් ගේ ගීතයක් දැම්මම මම ඕන වෙලාවක නැළවෙනවා කියලා. අදටත් මම හිතනවා මගේ ජීවිතේ සංයමය, මතකය වගේ දේවල් මගේ ළඟ රැඳෙන්න කලාව තමයි මට උදවු වුණේ කියල.

ෆීජීවල ඉඳන් ශ්‍රී ලංකාවට ඇවිත් මාව ඇතුළත් කරන්නේ මියුසියස් විද්‍යාලයට. මගේ අම්මා තාත්තා නිතර කියූ දෙයක් තමයි තමා විසින්ම තමාව බබළවගන්න එක තමයි කෙනෙකුට ලැබෙන ලොකුම වගකීම කියල.

පුංචිම කාලේ ඉඳලම මම ගමන් කළේ එකම අරමුණක් ඔස්සේ. එකම ශක්තිමත් මාර්ගයක.

මෙන්න මේ කාලේ තමයි මම රන්වල බලකාය සමඟ එකතුවෙන්නේ. රන්වල බලකාය හරහා මට පුළුවන් වුණා බොහෝ දේ ඉගෙනගන්න.

කොහොමත් මම ටිකක් විතර දඟ චරිතයක්. හැබැයි දඟ කියන්නේ මුරණ්ඩු කියන එක නෙවෙයි.

මගේ ජීවිතේට තවත් සංයමයක් එක් කළේ ෂෙහාරා ජයසේකර ගුරුතුමිය. ඇය මාව මියුසියස් විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ බටනලා වාදනයට යොමු කරගන්නවා. අන්න එහෙම තමයි ඉස්කෝලේ සංගීත කටයුතුවලට දායක වෙන්නේ. ඉන් පස්සෙ මම සඳුන් ගුණවර්ධන ගුරුතුමාගේ මඟපෙන්වීමෙන් බටහිර තූර්යවාදක කණ්ඩායමේ සැක්සෆෝන් වාදනයට යොමුවෙනවා. මේ හැමදේම මම පහසුවෙන් අල්ලා ගන්නේ පෙර මගේ හිතේ ඇඳගත් නිවැරැදි මාවත නිසාමයි.

ඉන් පසුව මගේ ගමනට අශාන්ති වික්‍රමසිංහ ගුරුතුමී සහය වෙනවා.

මේ සියල්ල කිව්වේ මේ මඟ මම ආවේ එකම අරමුණක කියල කියන්නයි.

ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ 'මධුර චාරිකා' චිත්‍රපටයට මම රංගනයෙනුත් දායක වුණා.

 

ඔබ මේ වනවිට ශ්‍රී ලංකාවේ ළාබාලතම ප්‍රධාන විධායක නිලධාරිනිය(CEO). . ඒ පිළිබඳ කතා කරමු.

 

ඒක ක්‍රමානුකූලව සිදුවුණු දෙයක්. මගේ තාත්තා ආචාර්ය හෂාන් හපුතන්ත්‍රී. SLTC නොහොත් ශ්‍රී ලංකා තාක්ෂණික පර්යේෂණ විශ්ව විද්‍යාලයට අනුබද්ධ  නගර විශ්වවිද්‍යාලයේ(City Campus)  කථිකාචාර්යවරයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ සන්නාම රැසක් නිර්මාණය කරල තිබෙනවා. ඔහු වැඩ කරන පිළිවෙළ සහ නිර්මාණශීලීත්වය දිහා මම බලන් ඉඳල තිබෙනවා. කවදාක හරි ශ්‍රී ලංකාවේ හොඳ මියුසික් බ්‍රෑන්ඩ් එකක් හදන එක මගේ අදහසක් වෙලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මට වඩා වයසින් අඩු නංගිලා මල්ලිලා එක්ක මම දන්නා දැනුම බෙදාගන්නත් මට අවශ්‍ය වුණා.

 

මරදානේ Trace Expert City පරිශ්‍රය නවෝත්පාදකයන් සඳහා ම වෙන්වූ පරිශ්‍රයක්. SLTC Reserch University හි Inovation Center වෙත යොමුවන්නේ පාසල්වල 6 වසරින් ඉහළ දරුවෝ. මම මේ කටයුතු සඳහා එතැන තෝරා ගත්තා.ඒ පරිශ්‍රයේ පවත්වාගෙන යන YES  Academy  හි සිදුවෙන්නෙ වෙළෙඳ සන්නාම සංකල්ප,සහ වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා නව සංකල්ප බිහි කිරීම. එම සමාගමෙහි මගේ තාත්තාත් ඉන්නවා. මෙම සමාගම මඟින් දරුවන්ගේ නව නිපැයුම් කුසලතා පිළිබඳ සහ සෞන්දර්යාත්මක බව වර්ධනය සඳහා අවශ්‍ය දේශන වැඩමුළු පවත්වනවා. එහි දේශන සඳහා මමත් සහභාගි වෙන්නේ සම්පත් දායිකාවක් විදියට.

මේ අතර තමයි එහි පාලනාධිකාරිය මට එහි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ආරාධනා කරන්නේ. ඒ අනුව තමයි මම එම තනතුරට පත්වෙන්නෙ.

 

Sing With Sandy ඔබේ සංගීත දිවියේ නොමැකෙන පිටුවක් පෙරළන්නක් නේද?

 

මේක මගේ හිතේ කාලයක් පැලපදියම් වෙලා තිබුණු හීනයක්. ඒ හීනය සෑබෑ කරගන්නත් මගේ ළඟින්ම හිටියේ තාත්තයි, අම්මයි. හොඳ ෆෑන් බේස් එකක්, ඩේටා බේස් එකක් ඒ හරහා ගොඩනැගෙනවා. මම පුංචි ව්‍යවසායිකාවක්. මියුසික් ඇකඩමි එකෙන් මම යම් මුදලක් උපයනවා. ඒ ගැන මම අප්‍රමාණව සතුටු වෙනවා.

ඔබ උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නේ කවර අංශයෙන්ද?

සංගීතය නම් මට අමතක කරන්නම බැහැ. ඒ තරමටම මම සංගීතය සමඟින් ආධ්‍යාත්මිකව බැඳිලයි ඉන්නේ. බටහිර සංගීතය සමඟින් මනෝ විද්‍යාව, නීතිය වගේ විෂයයන් හැදෑරීමට ආසාවෙන් ඉන්නවා.

 

තාත්තලා දුවලා අත⁣රේ, දුවලා තාත්තලා අතරේ ඇත්තේ ආත්මීය බැඳීමක්. යෙසඳි, තාත්තා ඔයාගේ ගමනට දැවැන්ත බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 

මම හරිම වාසනාවන්තයි, අම්මයි තාත්තයි මට හෙවණැල්ලක් වගේ පසුපසින්ම ඉන්නවා. තාත්තා මාව මෙහෙයවන අන්දම හරි පුදුමයි.

 

කෙනෙක් ඔයාව එහෙම පිටින්ම අනුගමනය කළොත්?

එහෙම වෙන්නේ මගෙන් දෙයක් ගන්න පුළුවන් නිසානේ. මම හරිම කැමැතියි.

 

යෙසඳිව අපි අනාගතයෙදී දකින්නේ කොයි විදිහටද?

 

මගේ බලාපොරොත්තුව ලෝකයම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන එක. උත්සාහ කරනව නම් බලාපොරොත්තුව තියෙනව නම් ඕනම කෙනෙකුට මේ ඉලක්කයට යන්න පුළුවන්. අනාගත ලෝකයට යන හරිම පාර අපිම නිර්මාණය කරගන්න කාලය තමයි මේ ඇවිත් තියෙන්නෙ.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර