ආසියානු ශූරතාවය දිනූ අපට තවම දැල්පන්දු පුහුණුවට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නැහැ

හැමෝම කතා කරන දැල්පන්දු කෙළිය ගැන පුහුණුකාරිනී තිලකා ජිනදාස කාටත් නොකියූ කතාව
මැයි 1, 2023

 

තිලකා ජිනදාස... නම කියූ සැණින් අපගේ මතකය වසර ගණනක් ඈත ක්‍රීඩා පිටිය වෙත දිව යයි. ඒ ඇය අපේ රට නියෝජනය කරමින් පිටියට පිවිස ඔලිම්පික් ක්‍රීඩා පිටියේ මුලින්ම නම සටහන් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසිනි. එයින් නොනැවතුණු ඇය අපගේ දැල්පන්දු ක්‍රීඩා කණ්ඩායමේ නොමැකෙන නමක් සටහන් කළ ක්‍රීඩිකාවක් ලෙසත්, පසුව ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ පුහුණුකාරිනියක ලෙසින් දැක්වූ දක්ෂතාවය නිරතුරුවම මතකයට නැඟෙයි. ඒ අතීත මතක සැමරුම් අතුරින් තිලකා අපගේ ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසින් නැවත වරක් වගකීම භාරගත්තේ අභියෝග රාශියක් මැදය. සැමදාම ඉතාම අභියෝගාත්මක වූ අපගේ දැල්පන්දු කණ්ඩායමේ වගකීම භාරගත් තිලකා ලෝක කුසලානය අප රටට රැගෙන එන්නට සිහින දකින්නේ දහසක් වූ අපේක්ෂා සිතෙහි දල්වාගෙනය.

 

දීර්ඝ කාලයක් බෲනායි රාජ්‍ය‍ෙය් ප්‍රධාන දැල්පන්දු පුහුණුකාරීත්වය දැරූ ඇය නැවත වරක් අපේ රටේ දැල්පන්දු කණ්ඩායමේ වගකීම භාරගත්තේ තවත් මාස කිහිපයකින් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අභිමුඛය. වසර විසි පහකටත් වඩා වැඩි කාලයක අත්දැකීම් ඇති තිලකා මේ තනතුරට පත්වන්නේ හයිසින්ත් විජේසිංහගෙන් පසුවය. තමා ඉදිරියේ ඇති භාරධූර වගකීම ඉතාම හොඳින් අවබෝධ කරගත් ඇය තමා ඉදිරියේ ඇති අභියෝග මැදින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම පිළිබඳ අදහස් පළකරන්නට එක්වූයේ පසුගිය දිනක උදෑසන තම කණ්ඩායමේ පුහුණුවීමේ කටයුතු අවසන් වීමෙන් පසුවය.

 

තිලකා ඔබට අපේ දැල්පන්දු පිටිය අමුතු තැනත් නෙවෙයිනේ... නමුත් ඔබ මෙවර පුහුණුකාරිනිය ලෙසින් එම තනතුර භාරගත්තේ ලෝක කුසලානය අබියස. මුලින්ම අපි ඒ ගැන කතා කරමු.

 

ඇත්තටම කියනවා නම් ක්‍රීඩාව කියන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමනේ. මම මේ භාරගත් තනතුර මට අලුත් දෙයක් නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගය ජූලි මාසයේදී පවත්වනවා. ඒ තරගය ජයග්‍රහණය කිරීම තමයි කණ්ඩායමක් ලෙස අපට තිබෙන අභියෝගය. ඒ වෙනුවෙන් කණ්ඩායමක් ලෙස අප මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නිරතවෙනවා.

අපේ ජාතික කණ්ඩායමට පසුගිය ආසියානු දැල්පන්දු තරගාවලිය නියෝජනය කළ තරුණ ක්‍රීඩිකාවෝ හයදෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත්. මේ ක්‍රීඩිකාවෝ මීට පෙර ලෝක කුසලාන තරගාවලි නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස ඔවුන්ගේ උපරිම දක්ෂතාවයත් මෙහිදී පෙන්වීමේ අපේක්ෂාවෙන් සිටින්නේ. මේ තරගය ජූලි මාසයේ 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී තමයි පවත්වන්නේ. එම තරගාවලියේදී සී කාණ්ඩය යටතේ ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්ස් සමඟ තරග කරනවා. මම හිතනවා අපේ කණ්ඩායම මෙහිදී හොඳ තරගයක් ලබාදෙමින් ජයග්‍රහණය කරා ළඟාවෙයි කියලා.

 

ඔබ මේ ලෝක කුසලානය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබුවත් ආසියානු දැල්පන්දු තරගාවලියෙන් ඔබ්බට යන්නට බැරිවෙලා තියෙනවා නේද? තවත් සරලව කියනවා නම් අපේ දැල්පන්දුව එකම තැන හිරවෙලා නේද?

එසේ එකම තැනක රැඳෙන්න හේතු ගණනාවක් අපට තියනවා. එක් හේතුවක් තමයි අපට ජාත්‍යන්තර පුහුණු තරග සඳහා සහභාගිවීමට අවස්ථාව අඩුවීම. උදාහරණයක් ලෙස දැන් බලන්න ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියකට පෙර ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාගන්න පුළුවන් ඊඥයබ තරග කොයි තරම් තියනවාද? රග්බි ක්‍රීඩාව, පාපන්දු ක්‍රීඩාව.... මේ හැම ක්‍රීඩා තරගාවලියකට පෙරම ඔවුන් තරග පුහුණුවට අමතරව තරග අත්දැකීම් ලබාගන්න ලෝකයේ විවිධ රටවල තරග සඳහා සහභාගි වෙනවා. නමුත් අපේ දැල්පන්දු කණ්ඩායමට එවැනි අවස්ථාවක් නැහැ. ඔවුන්ට ලැබෙන්නේ පුහුණුවීම විතරයි. නමුත් තරගයක් ජයග්‍රහණයට පුහුණුවීම වගේම අත්දැකීමත් වැදගත්. ඒ නිසා අපේ දැල්පන්දු කණ්ඩායමටත් බඥයබ ඵඥපඪධභඵ තරග සඳහා සහභාගිවීමෙන් ලබාගන්න පුහුණුව ඉතාම වැදගත්. අපත් සමඟ තරග කරන සිංගප්පූරුව පවා මෙවැනි තරග සඳහා සහභාගි වෙලා හොඳ පුහුණුවක් ලබාගෙන තමයි එම තරගවලට ඉදිරිපත් වෙන්නේ. නමුත් අවාසනාවට අපට ඒ අවස්ථාව නැහැ.

 

පුහුණුකාරිනියක් ලෙස ඔබට අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ අත්දැකීම් හා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට යොදා ගන්නේ කොයි ආකාරයට ද?

මගේ පුහුණුව යටතේ අපේ කණ්ඩායමට දෙවරක් ආසියානු ශූරතාවය දිනාගන්න හැකි වුණා. 2009 සහ 2018 වසරවලදී තමයි ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ වගේම අපි කිහිප වරක් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ඒ 2011 සහ 2019 වර්ෂවලදී. මේ සියලු අත්දැකීම් සමඟ තමයි මම මේ වගකීම භාර ගත්තේ. මම මුලින් සඳහන් කළ ආකාරයට අපි තරගාවලියක් ජයග්‍රහණය කළාට පසුව එතැනින් නවතින්න බැහැ. අපට පුහුණුවීම් සඳහා විවිධ රටවල සංචාර සඳහා සහභාගිවෙමින් ලබන බඥයබ ඵඥපඪඥඵ අත්දැකීම තමයි හුඟක් වටින්නේ. මම බෲනායි රාජ්‍ය‍ෙය් පුහුණුකාරිය ලෙසින් ලැබූ අත්දැකීම ඉතාම වැදගත්. ඒ සියලු අත්දැකීම් හා දැනුම අපේ කණ්ඩායමට උපරිමයෙන් ලබා දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීම තමයි මගේ එකම අපේක්ෂාව.

 

ඔබ මේ තරගාවලිය සඳහා තෝරා ගත් අපේ කණ්ඩායම පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

ඇත්තටම මෙවර තෝරා ගත් කණ්ඩායම හොඳ තරුණ කණ්ඩායමක්. අපට මේ කණ්ඩායම වගේ කණ්ඩායමක් තව අවුරුදු 5-6ක් යනකම් හදාගන්න අපහසුයි. මේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ජාතික මට්ටමෙන් විතරක් නොවෙයි ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවන්. මම පෙර සඳහන් කළ ලෙසින්ම ආසියානු ශූරතාවය දිනූ කණ්ඩායමේ 6 දෙනෙක් මේ කණ්ඩායමේ සිටීම විශේෂයි.

 

තර්ජනී සිවලිංගම් මේ තරගාවලියේ තේරීම් තරගවලට සහභාගි නොවන්නේ ඇයි?

නැහැ. එවැනි කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ. ඇය මේ තරගාවලිය සඳහා සහභාගි වෙන බව දන්වලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශය මඟින් තෝරාගත් මුළු තරගකාරියන් 12 දෙනා අතර ඇය සිටින බවත් අමාත්‍යාංශය මඟින් දන්වා තිබෙනවා. ඇය මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. තර්ජනීගේ පුද්ගලික අවශ්‍යතාවයකට පසුගිය දිනවල ඇය ලංකාවට පැමිණියා. ඒ පැමිණි අවස්ථාවේ එක් පුහුණු සැසියකට සහභාගි වෙලා තමයි ලංකාවෙන් ගියේ. ඒ නිසා ඇය මේ තරගයට සහභාගිවීම අපට විශාල වාසියක් වගේම ශක්තියක්. ඇයගේ සහභාගිත්වයත් සමඟ අපේ කණ්ඩායම ඉතාම ශක්තිමත්ව තමයි මේ තරගාවලියට මුහුණදීමට සූදානමින් සිටින්නේ.

 

දැනට කණ්ඩායමේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් ඔබට සාර්ථකව ඉදිරියට යන්නට හැකියාව ලැබෙයි ද?

අපේ කණ්ඩායමේ කිසිම ගැටලුවක් නැහැ. අපගේ දැල්පන්දු ක්‍රීඩා පදනමේ පුංචි ගැටලු කිහිපයක් තිබෙනවා. නමුත් අපේ පදනමට කිසිම මූල්‍යමය වංචා, දූෂණ චෝදනා නැහැ. සුළු සුළු ගැටලු කිහිපයක් විතරයි තිබෙන්නේ. ඒ ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියට යන්න අපට අපහසු නැහැ. නමුත් දැල්පන්දු ක්‍රීඩාව දියුණු මට්ටමට ගෙන ඒම සඳහා අපටම පුහුණුවීම් කටයුතු කිරීම සඳහා ගෘහස්ථ පුහුණුවීමේ ක්‍රීඩාංගණයක් නොවීම ලොකුම අඩුවක්. මේ දිනවල අප පුහුණුවීම් කරන ස්ථානයේ පවතින යටිතල පහසුකම් අඩුයි. අධික හිරු රස්නය නිසා පුහුණුවීම් දවල් කාලයේදී නවත්වන්න සිද්ධ වෙනවා. දැල්පන්දු ක්‍රීඩා පුහුණුවටම අවශ්‍ය ගෘහස්ථ ක්‍රීඩාංගණයක් තිබුණොත් අපට හොඳින් පුහුණුවීම් කටයුතු කරන්න පුළුවන්.