වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දක්ෂ නිළියක වීම මගේ සිහිනයයි
රංගනයට එක් වූ පළමු ගුවන් හමුදා පැරෂුට් නිලධාරිනිය
එදවස ගුවන සිසාරා කරණම් ගැසූ ඇය අද නිළියකි. සැබැවින්ම ඇයට ඇත්තේ නිළියකට සරිලන පෙනුමකි. ඒ සොඳුරු රුවැත්තිය ගගනත සිසාරා පැරෂුට් කරණම් ගැසූ බව මසිත පිළිගන්නට මැළිය. නමුත් ඇත්ත නම් ඈ ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදා පැරෂුට් නිලධාරිනියක් යන්නයි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන "අසිරිමත් දළදා ගමනය" සහ සියත ටී. වී. නාළිකාවේ "Encounter" ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට එන ඇය නමින් කෝෂලී ප්‍රනාන්දුය.
තරුණී Star Plus වෙත අපි ඇයට ගෞරවයෙන් ආරාධනා කළෙමු.
"කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් පෙළ සඳහා රදාවාන මහගමසේකර මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී 2008 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පැරෂුට් සූරියන් හත්දෙනා අතරට එක් වන්නට තරම් වාසනාවන්ත වුණා. 2009දී කොළඹ ගුවන් හමුදා කඳවුරේ පැවති අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳීමට ඇය සමත් වුණා. 2018 දී ගුවන් හමුදාවේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි වුණා. ගුවන් හමුදා සෙබළික ලෙස වගකීම් රැසක් ඉටු කර අවසානයේදී මේ අවුරුද්දේ සේවයට මගේ රැකියාවට සමුදුන්නාය. ඉන්පසුව තමයි මම ටෙලි නාට්‍ය හා සිනමාපට කිහිපයකට රංගනයෙන් එක් වුණේ."
සොඳුරු රුවක් හිමි ඔබ ඇයි ගුවන් හමුදා සේවයට එක් වුණේ?
මම උසස් පෙළ හදාරලා ඉන්න කාලෙදි ගුවන් හමුදාවට බැඳෙන්න ඕනෙ කියලා ලොකු ආශාවක් තිබුණේ නෑ. මේ කාලසීමාවෙදී ජාතික පුවත්පතක දැන්වීමක් පළ කරලා තිබුණා ගුවන් හමුදාවට ශාරීරක අභ්‍යාස නිලධාරීන් ගන්නවා කියලා. මම ක්‍රීඩාවට අතිශයින් ප්‍රිය කරන නිසා ඒ දාලා තිබුණු ඇප්ලිකේෂන් එකට මමත් ඉල්ලුම් කළා.
3,500ක් වැනි දෙනෙක් සහභාගී වුණු සම්මුඛ පරීක්ෂණයෙන් 10 දෙනයි තෝරා ගත්තේ. ඒ දසදෙනා අතරට මට එන්නට ලැබුණා. ඒ තෝරාගත්ත දහදෙනා අතරට තේරුණ හින්දා තමයි මට ආසාවක් ඇති වුණේ ගුවන් හමුදාව ගැන. එදා මම ශාරීරික අභ්‍යාස නිලධාරිනියක් නොවුණා නම් අද මගේ සිහිනය මල්ඵල ගැන්විලා ඉවරයි .මගේ හිතේ තිබුණු දෙයක් තමයි පොඩි කාලේ ඉඳන්ම හොඳ නිළියක් වෙන්න. ඒ දෙය කවදහරි ඉෂ්ට සිද්ධ කර ගන්නවා කියන ආසාව සිත ඇතුළෙ තිබුණා.
ගුවන් හමුදාවේදී ඔබට රඟපාන්නට අවස්ථාවක් හිමි වූයේ නැද්ද?
රටක හමුදාවක් ඇතුළෙ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට පරිබාහිරව අපිට ක්‍රියා කරන්න බැහැ. හමුදාවේ විනය නීති මාලාවන් හරි තදයි. ඒ නිසා ඒ අවස්ථාව මට හිමි වුණේ නැහැ. අලුතෙන් ගුවන් හමුදාවට එකතු වන නිලධාරීන් හා සොල්දාදුවන් වෙනුවෙන් පුහුණු නිලධාරිනියක් හැටියටයි මම කටයුතු කළේ. ඒ නිසා තවත් නීති පද්ධතිය අපට තදින්ම බලපානවා. ජීවිතයේ බලාපොරොත්තු වන දේවල් කිසිවක් අපිට ඕනෙ විදිහට ලබාගන්න බැහැ. ඒ නිසා අවස්ථාව හිමිවෙනකම් ඉන්න වෙනවා .
ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදා පැරෂුට් නිලධාරිනිය ලෙස ඔබ නොමැකෙන සලකුණක් තැබුවා නේද?
ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායමට ඇතුළත් වෙන්නට මට හැකි වුණා. මුළු ශ්‍රී ලංකාවම එදා මාධ්‍ය තුළින් අපි හත්දෙනා ගැන කතා කළා. ගුවන් හමුදාව නිසා මට ලොකු පන්නරයක් ලැබුණා. පැරෂුට් කණ්ඩායමට එකතු වීමත් සමඟ පුහුණු වන කාල සීමාවේදී ලබපු අත්දැකීම් සම්භාරය කියා නිම කළ නොහැකියි. පුහුණු වෙන කාලයෙ පළමු jump එක කියන්නේ ජීවිතය එපා වුණ දවසක්. Aircraft එකත් එක්ක පඩි පෙළ නැඟල ඉවර වෙලා ඇතුළට ගියාට බැහැලා තිබුණේ නෑ. මම ඉස්සල්ලාම පැනපු එක තමයි කරේ. අඩි එක්දාස් පන්සීයක් විතර උඩ ඉඳන් පැනලා තිබුණේ නැහැ. ඒත් එදා මම අඩි එක්දාස් පන්සීයකට වැඩිය උඩින් පැන්නා. කාන්තාවකට එවැනි දෙයක් කරන්න පුළුවන් ද කියන හැකියාවක් තියෙනවා ද කියලා මම හිතන්නේ නෑ. ගතත් සිතත් දෙකම හොඳටම ශක්තිමත් වුණොත් පමණයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කාලේ මම හොඳ මොරාල් එකෙන් හිටියේ. පාඨමාලාව පටන් ගත්තේ 2008 වසරේ. හරියටම ගුවන් හමුදාවට ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මම පාඨමාලාවට එකතු වුණේ. එදා උඩ ඉඳන් පනින කොට මගේ ජීවිතේ අවසන් ගමන් ගියා කියලත් හිතුණා. කිසිදු අත්දැකීමකින් තොරවයි අපි එදා ඒ පෙර පුහුණුවීම්වල යෙදුණේ. ඒත් පුහුණුවීම් කටයුතු අවසන් වෙලා පැරෂුට් එක දිග හැරගෙන බහින කොට මාර සැහැල්ලු බවක් දැනුණේ. හරියට උඩ පියාඹන කුරුල්ලෙක් වගේ කියලයි හිතෙන්නේ.
ඔබගේ ජීවිත ඉලක්කය වෙනුවෙන් කළ කැපවීම කෙබඳු ද?
මම ජීවිතේ කවදාවත් පරාජය බාරගන්න කැමැති පුද්ගලයෙක් නෙවෙයි. අපි හැම මොහොතකම හිතන්න ඕනේ අරමුණක් තියෙනවා, ඒ අරමුණ ජයගන්න අවස්ථාවක් තියෙනවා, ඒ අවස්ථාවට අපිට ළඟා වෙන්න පුළුවන් කියන එක විතරයි. කවුරුවත් කියනවට කවුරුවත් කරනවා දැකලා ඒ දේවල් කරන්න හොඳ නැහැ. සෑම මනුෂ්‍යයකුගේම දේහයට හරියන ශක්ති ප්‍රමාණයක් ඇඟ ඇතුළෙ සහ පිටතින් තියෙනවා. ඒ දේ තේරුම් ගත්ත ඕනෑම පුද්ගලයකුට තමන් ඇතුළෙ ඉන්න මනුස්සයාව අඳුනාගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම තමන්ගේ අරමුණු කරා යන්න ලේසි වෙනවා. මමත් කළේ ඒ දේ පමණයි.
ගුවන් හමුදාවට සමුදුන් පසු ඔබට රංගන වරම් හිමි වූයේ කෙසේද?
ගුවන් හමුදාවෙන් විශ්රාමගෙන කෙටි කාලසීමාවක දීඒ සඳහා අවස්ථාවක් හිමි වුණා. මුහුණුපොතේ මගේ පින්තූර දැකලා මට ටෙලි නාට්‍ය කිහිපයකට කතා කළා. ඉන්පසු තිර පරීක්ෂණවලට ගිහිල්ලා ඒ පරීක්ෂණවලින් සමත් වෙලා නාට්‍ය කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ හීනයක් වුණු ඡීවිතය සැබෑ වුණා කියලා හිතෙනවා. මේ ලැබුණු කෙටි කාලය තුළ දී ප්‍රධාන චරිත හා උප ප්‍රධාන චරිත කිහිපයක් කරලා තියෙනවා.
මේ වන විට රඟපා ඇති ටෙලි නාට්‍ය මොනවාද?
සිරිමත් දළදාගමනය, Encounter-2, හිරු නාළිකාවේ විකාශනය කරන 119 වැඩසටහන් තුනකට සහභාගි වෙලා තියෙනවා. කොළොම් තොටට තෙල් ඇවිල්ලා music වීඩියෝ එක, ඉදිරියට එන්න තියෙන නිර්මාණ තමයි භූමි ටෙලි නාට්‍යය, ද මර්ඩර්, මුතු විල, යූටියුබ් නාළිකාවක විකාශනය වන බිනර මලින්ද සමඟ මේ දවස් වල රූගත කිරීම් කරන රනිල් කුලසිංහගේ සිත් යාය ටෙලිනාට්‍යයේ මාලි කියල චරිතයෙන් රංගනයෙන් දායක වෙනවා. 'අයිස්' චිත්‍රපටයට ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ සියල්ලම ඉදිරියේදී තිරගත තිරගත වීමට නියමිතයි.
මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලේ නෑදෑ හිතවතුන් සියලු දෙනාම මට මේ ගමනට සහයෝගය දෙනවා. මම දරුවෝ දෙන්නෙක්ගේ මවක්. මගේ සැමියා, ඩබ්ලිව්. සි. සමරනායක. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවි ආයුධ අංශයේ සාජන්වරයකු ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ඔහුගෙන් මගේ රංගන ගමනට උපරිම සහයෝගය ලැබෙනවා. මගේ සිහිනය වන්නේ මතු දවසක දක්ෂ ජනප්‍රිය නිළියක් වීමයි.
පසුතලය - 81 ලේක් ලෝන්ජ්
හැඩගැන්වීම - මලිත් හෙට්ටිහේවා
සටහන හා ඡායාරූපය - නිශ්ශංක විජේරත්න