‘තරගයේ වීරයා‘ සම්මානය නවකයකුට පරිත්‍යාග කළ චමරි

ජනවාරි 31, 2022

ජ්‍යෙෂ්ඨත්වය සැමවිටම අන් අයට ආදර්ශයක් සැපයිය යුතු වේ. විශේෂයෙන්ම තමන් වෙහෙස මහන්සිව දිනාගත් කුසලානයක් ඉතසිතින් නවකයකුට පිරිනැමීම සැබවින්ම හරි අපූරු ආදර්ශයකි. එමෙන්ම එය විරල ගණයේ සද්ක්‍රියාවකි.

ඒ අපුරු සද්ක්‍රියාව ගැන පසුගියදා අපට අසන්නට දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇසුරින් වීමත් කාන්තා අපට විශේෂයි.

මේ දිනවල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින්නේ මැලේසියාවේ ක්වාලාරාම්පූර් නුවරයි. ඒ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ විස්සයි විස්ස තරගාවලිය තුළයි. මෙහි ආරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවතිණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දුවාර 12.1කදී ලකුණු 73ක් පමණක් ලබාදී ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් සියලුම දෙනා දවා ගන්නටත් සමත් විය. මෙය ලකුණු 109ක විශිෂ්ට ජයකි.

අප ඉහතින් සඳහන් කළ සුවිශේෂී සිදුවීමට මුහුණ දෙන්නේ තරගය අවසානයේ පැවැති ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවයේ දීය. එනම් මෙහිදී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ක්‍රීඩිකාවයි. ඒ නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රබල පිතිහරඹයක නියැලී පන්දු 45කට ලකුණු 86ක් ලබා ගනිමිනි. ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විණි.

චමරිගේ දක්ෂතාවන් අගයමින් ඇය වෙත ප්‍රදානය කළ මේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇය තම කණ්ඩායමේ නවක ක්‍රීඩිකා සචිනි නිසංසලා වෙත නොපැකිලව ප්‍රදානය කළාය. ඒ තම මංගල ක්‍රිකට් තරගයේ නියැලුණු සචිනි නිසංසලා පන්දු 10කදී ලබාගත් කඩුලු 02ක ඇගයුමට ලක් කරමිනි.

සිය මංගල තරගයේ දී මෙවැනි ඇගයීමට ලක්වීම ම තමන්ට ඉමහත් ශක්තියක්, ධෛර්යයක් සැපයූ බවත් එය ඉදිරි තරග සඳහා හොඳ ආරම්භයක් බවත් සචිනි නිසංසලා පවසා සිටින්නීය.